ආපදා තත්ත්වයෙන් 607ක් මරුට – 241ක් අතුරුදන්

දිට්වා සුලි කුණාටුව හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වන විට 607ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවදුරටත් අතුරුදන්ව සිටින පුද්ගලයින් ගණණ 241ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ.
මේ අතර ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් අද දිනයේත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාළගුණ විද්‍යාදෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අද පෙරවරු වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය 98.87%ක් දක්වා වැඩි වී ඇති බැවින් අඹන්ගඟේ හා මහවැලි ගඟේ ජල මට්ටමේ යම් ඉහළ යාමක් සිදුවනු ඇති බවටයි අනතුරු අගවන්නේ.
ඒ බැවින් ඒ අවට පහත් බිම්වල සිටින ජනතාව වඩා සැලැකිල්ලෙන් පසු විට යුතු බව මහවැලි අධිකාරිය පවසනවා.

ඉදිරියේදී තවදුරටත් වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිවේදය කරනවා.
එම අධිකාරිය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත්තේ උපරිම ජල මට්ටමේදී ජලාශයට ජලය ලැබෙන ශීඝ්‍රතාවය අනුව වාන් දෙරටු විවෘත කිරීමට පියවර ගන්නා බවයි.
මේ සම්බන්ධව මහවැලි අධිකාරිය විසින් පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය වෙතද දන්වා යවා තිබෙනවා.
එම ඒකකය සඳහන් කරන්නේ අද පෙරවරු වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය 98.87%ක් ලෙස පවතින බවයි.
ඒ අනුව මොරගහකන්ද ජලාශය වාන් දැමීමේදී අඹන්ගඟට ජලය මුදා හැරෙන අතර එමගින් අඹන්ගඟේ හා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් සිදුවනු ඇති.

මේ අතර මල්වතු ඔය ජලමට්ටම ද අද පෙරවරුව වන විට තන්තිරිමලේ ජල මාපකයේ උපරිම ජලමට්ටම වන මීටර් 6.83 ඉක්මවා මේ වන විට මිටර් 6.85 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊට අමතරව කලු ගග මගුරුගඟ ප්‍රදේශයෙන් ජලමට්ටම උපරිම ධාරිතාවයකට ලක්ව ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

දිට්වා සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් තවදුරටත් අතුරුදන්ව සිටින පුද්ගලයින් ගණණ 241ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවල සදහන් වනවා.
අද දින වන විට වැඩිම පිරිසක් අපදාවට ලක්ව ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයේයි.
එහි පවුල් 97,907කට අයත් පුද්ගලයින් 344,585ක් පීඩාවට පත්ව සිටිනවා.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 80,682කට අයත් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන 310,047ක්.
මේ අතර මෙම ව්‍යවසනයෙන් වැඩිම ජීවිත සංඛ්‍යවක් අහිමි වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 232ක් සහ අතුරුදන්ව ඇති සංඛ්‍යවද 81ක් වනවා.
නුවර එළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක් වාර්තා වී ඇති අතර 35 දෙනෙක් තවදුරටත් අතුරුදන්ව සිටිනවා.
බදුල්ල දිස්ත්‍රික්කයෙන්ද මරණ 83ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ61ක්, කෑගල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් මරණ30 බැගින් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28 වාර්තා වී තිබෙනවා.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ප්‍රවාහනය, කෘෂිකර්මය, විදුලි සැපයුම සහ විදුලි සංදේශ සේවාවන් ඇතුළු අංශ ගණනාවකට බරපතළ ලෙස හානි සිදුව ඇති බව අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
වැව් 1,777ක්, වේලි 483ක්, ඇළ මාර්ග 1,936ක්, කුඩා වාරිමාර්ග මාර්ග 305ක් සහ කෘෂිකාර්මික මාර්ග 328කට හානි සිදුවී ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.
එසේම ගොවිබිම් අක්කර 137,265ක් විනාශ වී තිබෙනවා.
විදුලි බල පද්ධතියයේ විදුලි උපපොළවල් 16,178කට සහ සම්බන්ධතා 3,531,841කට බලපෑම් සිදු වුණා.
මෙම බාදා එල්ල වූ සැපයුම් වලින් මේ වන විට ලක් වූ සියයට 95කට විදුලි සැපයම යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

Share