ආපදාවෙන් පසු හෙට ඇරෙන පාසල්

2025 අධ්‍යයන වර්ෂයේ තෙවැනි වාරයේ දෙවැනි අදියර හෙට ආරම්භ වනවා.
කෙසේ වෙතත් ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ පාසල් 147 ක් හෙට ආරම්භ කිරීමට හැකි වන්නේ නැහැ.‍
මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සිසු සිසුවියන්ගෙන් ඉල්ලා සිටියේ නිල ඇඳුම් නැතත් සුදුසු ඇඳුමකින් හෙට පාසල් පැමිණෙන ලෙසයි.

2025 අධ්‍යයන වර්ෂයට අදාළව තෙවැනි වාරයේ දෙවැනි අදියර ආරම්භ වීමට නියමිතව තිබුණේ පසුගිය 08 වැනිදායි.
එහෙත් දිට්වා සුලි කුණාටුව සමග දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් ආරම්භය කල් දැමුණා.
ඒ අනුව බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද යන පළාත්වල සියලු පාසල් හෙට යළි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.
කෙසේවෙතත් ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පාසල් 147ක් හෙට දිනයේ ආරම්භ කිරිමට නොහැකි බව දැනුම් දී තිබෙනවා.
ඒ අතරට මධ්‍යම පළාතේ පාසල් 115 ක් , ඌව පළාතේ පාසල් 26 ක්, සහ වයඹ පළාතේ පාසල් 06 ක් ඇතුළත්.
ආපදා රැඳවුම් මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යනු ලබන පාසල්ද එම ගණනයට ඇතුළත් කර ඇති බව අප කළ විමසීමක දී අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
නැවත පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කළේ දුෂ්කරතාවලට මුහුණ දුන් ගුරුභවතුන්ට සහ දරුවන්ට පහසු ඇඳුමකින් සැරසී පැමිණීමට අවස්ථාව ලබා දෙන බවයි. මේ අතර දරුවන්ට පාසල් පැමිණීමේ අපහසුතා ඇතැයි ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වනවා.

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයට අනුව දරුවන්ට තමන්ගේ පාසල යෑමට නොහැකි නම් තාවකාලිකව ළඟම පාසලේ දී අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
මේ අතර පාසල් පැමිණෙන දරුවන්ට නොවැම්බර් මාසයට අදාළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් මේ මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසා දී ඇතැයි ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
එමෙන්ම නොවැම්බර් මාසයට අදාළ දුම්රිය පාසල් වාර ප්‍රවේශපත භාවිතා කොට දෙසැම්බර් මාසයේ පාසල් පැවැත්වෙන දිනවල දුම්රියෙන් ගමන් කිරීමේ අවස්ථාව පාසල් සිසුන් හට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබෙනවා.
හෙට ඇරඹෙන පාසල් ලබන 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර නත්තල් නිවාඩුවෙන් පසු යළි දෙසැම්බර් 29 වැනිදා පාසල් ආරම්භ වනවා.
දෙසැම්බර් 31 වැනිදා පාසල්වල තුන්වැනි වාරයේ අධ්‍යයන කටයුතු අවසන් කෙරෙනු ඇති.

Share