අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ඇරඹෙයි

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක් කරනවා.
හෙට ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සහ නිල ෆේස්බුක් ගිණුමෙහි ඇති කාලසටහන ගැන පමණක් අවධානය යොමුකරන ලෙසයි.

2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
විභාග මධ්‍යස්ථාන 3,545ක අපේක්ෂකයින් 451,463ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
හෙට සිට ලබන 26 වැනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි.
කෙසේවෙතත් පසුගිය වසරට වඩා මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විෂය පෙළ ගැස්ම පස්වන, හයවන, හත්වන සහ අටවන දිනයන් හි වෙනස් කර ඇති බැවින් නිවැරදි කාලසටහන පමණක් භාවිත කරන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනුම් දෙන්නේ.

මේ අතර හෙට දින ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කිරීම සහ විභාග මධ්‍යස්ථානවල හදිසි තත්ත්වයන්වලට මුහුන දීම සඳහා ද සියලු කටයුතු සූදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

Share