06 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ දරුවන්ට නොගැලපෙන වෙබ් අඩවියක නමක් සටහන්වීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළ සැකකරුවන්, වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය නියෝග කළා. අධිකරණයේදී නීතිඥයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා කළේ විමර්ශන විධිමත්ව සිදු නොකරන බවටයි.
පෙළ පොත් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කළ පැමිණිල්ල ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ කැඳවූවා. එහිදී පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහි පරීක්ෂණ විධිමත් අයුරින් සිදුනොකරන බවයි. මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකෙරෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී සඳහන් කළා. ඉදිරිපත් වඋ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය විසින් සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන ඉදිරි නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනය 6 ශ්‍රේණිය සිසුන් සඳහා හඳුන්වා දුන් ඉංග්‍රීසි මොඩියුලයක් සම්බන්ධ ගැටලුව පසුගිය කාලය පුරාම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් ඇතිකළා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පමණක් නොව එය සිවිල් සමාජය තුළද මතුකළේ දැඩි කතාබහක්. එම මොඩියුලය සම්බන්ධ ගැටලුව කුමන්ත්‍රණයක් විය හැකි බව පවසමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.





