‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ ශ්‍රී ලංකාවේ නැවත ගොඩනැගීමේ ව්‍යාපෘති සඳහා ඉන්දියාව අද අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් නිවේදනය කළා
එයට අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රදාන ඇතුළත් බව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා කොළඹ දී පැවසුවා.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ විනාශයට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව දියත් කරන ලද සාගර් බන්ධු මෙහෙයුම යටතේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා ඊයේ මෙරටට පැමිණියා.
ඔහු අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණ ගැසුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ප්‍රමුඛ ඉන්දීය රජය විශ්වාස කරන බව එම හමුවේදී පැවසූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ සමඟ ඉන්දියාව අන් කවරදාටත් වඩා ශක්තිමත්ව අත්වැල් බැඳගෙන සිටින බව ද පවසා තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද විශේෂ ලිපියද මෙහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත භාර දුන්නා.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සහන සැලසීමට පළමුවෙන්ම එක්වෙමින් ජනතාව මුදා ගැනීමේ, සහන සැලසීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය දැක් වූ හෘදයාංගම සහයෝගය වෙනුවෙන් මෙම හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘතවේදීත්වය පළ කර තිබුණා
එමෙන්ම අසීරු සෑම අවස්ථාවකම ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහාය සිහිපත් කළ ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාන්විතය වෙනුවෙන් දිගු කළ සහෝදරත්වයේ හස්තය ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇති බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර නිල හමුවෙන් අනතුරුව දෙරටේ දූත පිරිස අතර සාකච්ඡා ආරම්භ කෙරුණු අතර දෙරට අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන සහන පැකේජය සංකේතවත් කරමින් කිලිනොච්චිය ඒ-35 මාර්ගයේ බේලි පාලම විවෘත කිරීමද මෙහිදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු වුණා.
ඉන් අනතුරුව දෙරටේ විදේශ අමාත්‍යවරු ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් ලබා දුන්නා.
ඉන් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, අරලියගහ මන්දිරයේදී, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා
ආපදාවෙන් හානියට පත් මෙරට දුම්රිය මාර්ග, පාලම් වැනි යටිතල පහසුකම් නැවත ගොඩනැංවීම, කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා සහාය වීම ඇතුළුව ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට ඉන්දියාවේ ඇති සූදානම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම හමුවේදී තහවුරු කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒ්කකය නිවේදනය කළා.
එසේම ශක්තිමත් පරිපාලන ක්‍රියාමාර්ග සහ ආයතනික රාමු හරහා ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේ වැදගත්කම ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම හමුවේදී අවධාරණය කර තිබුණා.
ඉන්දීය රජය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඇගයීමට ද ලක්ව තිබෙනවා.
මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා, කොළඹ ඉන්දියා හවුස් හි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ද සාකච්ඡාවක නිරත වුණා.
මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පසුගිය දා ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඉන්දීය රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය ස්තූතිය පල කර තිබෙනවා.
ඉන්දීය රජය ලබා දුන් ආධාර වඩාත් විනිවිදභාවයෙන් යුක්තව ජනතාවට ලැබිය යුතු බව මෙහි දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන් බව විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සදහන් කළා.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ ඒ වෙනුවෙන් කළ හැකි උපරිම දායකත්වය විපක්ෂය විසින් ද ලබා දෙන බවයි.
සිය සංචාරය නිමා කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අද පස්වරුවේ යළි දිවයිනෙන් පිටත්ව ගියා.





