අසත්‍ය පැමිණිල්ලක් සම්බන්ධයෙන් පද්මසිරි ලියනගේ මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ සමාව අයැද සිටී.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මහනුවර හන්තාන වත්ත ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මියට ලබා දී ඇතැයි සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති පද්මසිරි ලියනගේ මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ සමාව ඉල්ලා තිබෙනවා
ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය සිය කීර්තී නාමයට හානි වූ බව පවසමින් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යොමු කළ පැමිණිල්ලකට අනුවයි.

2025 වසරේ ජූලි මස 25 වනදා පැවති පොදු ව්‍යාපාර පිලිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම කැඳවා තිබුනා.
එවකට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ පද්මසිරි ලියනගේ මහත, කෝප් කමිටුව හමුවේ කියා සිටියේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මහනුවර හන්තාන වත්ත ප්‍රදේශයේ ඉඩමකින් අක්කර 43 ක කොටසක් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතින් බැහැරව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මියට ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරිඇල්ල විසින් සිය කීර්තී නාමයට හානි වූ බව පවසමින් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට පැමිනිල්ලක් යොමු කර තිබුනා.
ඉන් අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමා සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව පවසා පද්මසිරි ලියනගේ මහතා කෝප් කමිටුව ඉදිරියේ සමාව ඉල්ලා තිබෙනවා.
එය කෝප් කමිටු සභාපතිවරයා විසින් පසුගියදා පැවති කෝප් කමිටු හමුවේදී දැනුම් දුන්නා.

Share