ශ්‍රී ලංකාවට ලකුණු 106ක ජයක්

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ජයත් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ලකුණු 106ක මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු 3.09ක් ලබා A කාණ්ඩයේ පෙරමුණේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන්ම සුපර් සික්ස් වටයට සුදුසුකම් ලබා ගනු ඇති.මේ අතර තරගාවලියේ පළමු ජයග්‍රහණ ලැබීමට පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව ඊයේ සමත් වුණා.නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇති ටීවී සුප්‍රීම් ඔස්සේ ක්‍රීඩා ⁣ලෝලී ඔබටත් යොවුන් ලෝක කුසලානයේ තතු සජීවීව නැරඹිය හැකියි.

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය පැවැත්වුණේ නැමීබියාවේ වින්ඩ්හෝක් හීදී. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව, පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ජපානයට එරෙහිව වාර්තාගත ලකුණු 328ක සබඳතාවක් ගොඩනැගූ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඊයේ ලකුණු 17ක් තුළ ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවුණා.

නමුත් ඉනිමේ නැංගුරම වූ නායක විමත් දින්සර ලකුණු 95ක රැස් කළා. විමත්ගේ ඉණිමට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා. විමත් දින්සරට අනගි සහයක් වූ කවිජ ගමගේ ලකුණු 49ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා. කවිජගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි චාමික හීනටිගල නොදැවී ලකුණු 51ක් රැස් කළා. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුනු 267ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. අයර්ලන්තයට පන්දුවාර 40.1කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 161ක් පමණයි. අයිරිෂ් මැදපෙල සුනුවිසුණු දුල්නිත් සිගේරා ලකුණු 19කට කඩුලු හතරක් බිඳ හෙලුවා. රසිත් නිම්සර ලකුණු 29ට කඩුලු තුනයි.

ඩී කාණ්ඩයේ තරගයක් ලෙස දකුණු අප්‍රිකාව සහ ටැන්සානියාව වින්ඩ්හුක් හිදී තරග වැදුණා.පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩුලු 5ක් දැවී ලකුණු 397ක් රැස් කළා. සිය කුලුදුල් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ටැන්සානියා පිළිතුරු ඉනිම ලකුණු 68කට සීමා වුණා. ඒ අනුව කොදෙව් යෞවනයන් ලකුණු 329ක ජයක් සමගින් මෙවර ලෝක කුසලානයේ පළමු ජය වාර්තා කළා.

Share