මේ වන විට සතියකට ආසන්න කාලයක් දිග්ගැස්සී ඇති මැද පෙරදිග යුද උණුසුම අද අඛණ්ඩව හයවන දිනටත් ක්‍රියාත්මක වනවා.
ඒ අනුව, අවි බිම තබා වහාම යටත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකායට, එහි හමුදාවන්ට සහ පොලීසියට අනතුරු අඟවා තිබෙනවා.
එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ඔවුන් එසේ කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන බවත්, එසේ නොකරන්නේ නම් නියත මරණයකට මුහුණදීමට සිදුවන බවයි.
මේ අතර ඉරානයට එල්ල වූ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 1,230 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉරානය සතු ඩ්‍රෝන සහ මිසයිල පද්ධති ඉලක්ක කර සෑම පැයකට වරක් අමෙරිකානු හමුදා විසින් ප්‍රහාර එල්ල කරමින් සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඉරානයට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දක්වමින් ධවල මන්දිරයේ පැවති උත්සවයකදී.
මේ අතර ඉරානයට එරෙහි යුධ මෙහෙයුම් නව අදියරකට ගෙන යමින් සිටින බව ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාල් සමීර් අවධාරණය කරනවා.
මෙහෙයුමේ මීළඟ අදියර තුළ ඉරානයේ පාලන ව්‍යුහය සහ එරට මිලිටරි හැකියාවන් තවදුරටත් විනාශ කිරීමට ඉලක්ක කරගෙන කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර, ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ක්‍රියා කරමින් ඉරානය මූලෝපායික ලෙස හුදකලා කරමින් පෙර නොවූ විරූ ලෙස දුර්වල තත්ත්වයකට පත් කර ඇති බව ද ඔහු පැවසුවා.
මේ අතර, ධවල මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ සිය හමුදාව ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කර දමන බවයි.
ඉරාන රජය සමඟ වසර 47 ක භීෂණයක් අමෙරිකාවට පවතින බවත් එම පාලන තන්ත්රය අහිංසක ඉරාන ජනතාවට හානි කළ බවත් ට්‍රම්ප් එහිදී පැවසුවා.
මේ අතර, ගැටුම මධ්‍යයේ තෙල් මිල අඩු කර ගැනීම සඳහා තමාට සැලැස්මක් ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
මේ අතර, ඉන්දියානු පිරිපහදුකරුවන්ට රුසියානු තෙල් මිලදී ගැනීමට අවසර ලබා දෙමින් අමෙරිකාව විසින් ඉන්දියාවට දින 30ක සහන කාලයක් ද ලබා දී තිබෙනවා.
ඒ අනුව 2026 මාර්තු 5 වන දින සිට බලපැවැත්වෙන පරිදි රුසියානු සමූහාණ්ඩුවට අයත් බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන ඉන්දියාව තුළ බෙදා හැරීමට සහ විකිණීමට අවසර දීම යනුවෙන් අදාළ අවසරය අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා.
පසුගිය පැය 72 පුරා ඉරාන ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාර මාලාව පිළිබඳව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් විශේෂ අනාවරණයක් සිදු කළා.
ඒ අනුව අමෙරිකානු බෝම්බ හෙළන යානා මඟින් ඉරානයේ උපායමාර්ගික ඉලක්ක 200කට ආසන්න සංඛ්‍යාවකට සාර්ථකව පහර දී ඇති බව ඔහු එහිදී සඳහන් කළා.
මෙම මෙහෙයුම්වලදී ඉරාන නෞකා 30කට අධික සංඛ්‍යාවක් මුහුදේ ගිල්වා දැමීමටත් අමෙරිකානු හමුදා සමත් වී තිබෙනවා.
මේ අතර, මැදපෙරදිග කලාපයේ සිය මිත්‍ර රටවල් ඉරාන ඩ්‍රෝන ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකානු රජය යුක්රේනයේ සහය ඉල්ලා ඇති බව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.
ඉරාන ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳව මනා පළපුරුද්දක් ඇති යුක්රේන විශේෂඥයන්ගේ සහය ඒ සඳහා ලබාදෙන ලෙස ඇමරිකානු පාර්ශවයෙන් ඉල්ලීම් ලැබී ඇති බවයි ඔහු සඳහන් කලේ.
කෙසේ වෙතත්, ඒ සඳහා වොලොඩිමියර් සෙලෙන්ස්කි විශේෂ කොන්දේසියක් ද ඉදිරිපත් කර තිබෙනවා.
ඒ මෙම සහය ලබාදීම හරහා යුක්රේනයේ ආරක්ෂාවට බලපෑමක් නොවිය යුතු අතරම කියෙව් පාලනයට වාසිදායක රාජ්‍යතාන්ත්‍රික එකඟතාවන් ද ඇති විය යුතු බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඕනෑම රටකින් ලැබෙන සහයක් ලබාගැනීමට තමන් සූදානම් බවයි.
මේ අතර, ඉරානයේ මිනාබ් හි බාලිකා පාසලකට එල්ල කරන ලද ප්‍රහාරය ඇමරිකානු හමුදා විසින් සිදු කර ඇති බව පෙන්ටගනය කළ අභ්‍යන්තර පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
ප්‍රහාරයෙන් ප්‍රාථමික පාසලේ ඉගනුම ලැබූ දැරියන් 148ක් සහ පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 160කට ආසන්න පිරිසක් මියගිය අතර මෙම ප්‍රහාරය මෑත කාලීන යුද ගැටුම් අතරතුර සිදුවූ දැවැන්තම යුද අපරාධය ලෙසයි සැලකෙන්නේ.
ප්‍රහාරය සිදුවූ මුල් අවස්ථාවේ ධවල මන්දිරය ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට දොස් පැවරූ අතර, ඒ් සම්බන්ධයෙන් විමර්ශනය කරන බව එරට යුද ලේකම්වරයා සඳහන් කළා.
අදාළ විමර්ශනයට සම්බන්ධ ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසන්නේ ප්‍රහාරයට එක්සත් ජනපද හමුදා සම්බන්ධ බව මුල් තක්සේරු කිරීම්වලින් පෙනී යන බවයි.
කෙසේ නමුත් විමර්ශනය තවදුරටත් සිදුවන බවත්, ප්‍රහාරය සඳහා කුමන ආකාරයේ ආයුධ භාවිතා කළේද, ප්‍රහාරයට අවසර දුන්නේ කවුරුන්ද යන්න හෝ පාසල ඉලක්ක කර ඇත්තේ මන්ද යන්න විමර්ශකයින් තවමත් සොයා බලමින් සිටින බවයි අදාළ මාධ්‍ය වාර්තා පවසන්නේ.
මෙම ප්‍රහාරයෙන් මියගිය දැරියන්ගේ සමූහ අවමංගල්‍ය උත්සවය පසුගිය දා සිදුවූයේ දහස් ගණනක් ඉරාන වැසියන්ගේ සහභාගීත්වයෙන්.
මෙම ප්‍රහාරය ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංගණයක් බව පැවසූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා ප්‍රහාරය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා තිබූ අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් ලොව පුරා සිවිල් ජනයාගේ විරෝධය එල්ල වී තිබුණා.
මේ අතර ඉරානය සමඟ යුද්ධය නැවැත්වීම සඳහා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්රටික් නියෝජිතයින් ඊයේ සම්මත කරගැනීමට උත්සාහ කළ යෝජනාව යළිත් පරාජයට පත්වුණා.
මෙම යෝජනාව චන්ද 212 ට 219ක් ලෙස නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වූ අතර, යෝජනාවට සහාය දැක්වීම සඳහා රිපබ්ලිකන්වරුන් දෙදෙනෙකු පක්ෂයෙන් කැඩී යාම ද ඩිමොක්‍රටික්වරුන් හතර දෙනෙකු යෝජනාවට විරුද්ධව ඡන්දය දීම ද විශේෂයක් වුණා.
මේ අතර, ඇමරිකාව විසින් කුවේට්හි පිහිටි තම තානාපති කාර්යාලය ඉවත් කරන ලෙස නියෝග කර තිබෙනවා.
මෙම ඉවත් කිරීම් ඊයේ රාත්‍රියේ සිට අද දක්වා සිදු කිරීමට නියමිත බවටයි බීබීසී පුවත් සේවයේ වාර්තා කරන්නේ.
මේ අතර, තොරතුරු විනාශ කිරීමට සහ රහස්‍ය දත්ත පද්ධති (Servers) මකා දැමීමට තානාපති කාර්යාල නිලධාරීන්ට නියෝග කර ඇති බවත් අමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
මේ අතර, ඊශ්‍රායල හමුදාව හිස්බුල්ලා කඳවුරු ඉලක්ක කර ගනිමින් ලෙබනනයේ අගනුවර වන බේරූට් ඇතුළු අනෙකුත් නගර හරහා ගුවන් ප්‍රහාර එල්ල කිරීම වේගවත් කර තිබෙනවා.
ඒ අනුව, ශ්රීෆා, අයිටා අල්-ෂාබ්, ටූලින්, සවානා සහ මජ්ඩාල් සෙල්ම් යන නගරවලට සතුරු යුධ ගුවන් යානා රාත්‍රී කාලයේ ප්‍රහාර එල්ල කළ බව ලෙබනනයේ නිල ජාතික ප්රවෘත්ති ඒජන්සිය සඳහන් කරන්නේ.
බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශවල ඊශ්‍රායලය විසින් අනතුරු ඇඟවීමෙන් පසු ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ වනවිට අවතැන් වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර, ඉරානය දිගු යුද්ධයකට සම්පූර්ණයෙන්ම සූදානම් බවත් ප්‍රහාර සඳහා තවමත් භාවිතා කර නොමැති දියුණු ආයුධ හඳුන්වා දීමට සූදානම් බවත් ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිගේඩියර් ජෙනරාල් අලි මොහොමඩ් නයිනි පැවසුවේ ඉදිරියේදී එන නව ප්‍රහාර රැල්ලේදී ඉරානයේ සතුරන් වේදනාකාරී පහරවල් අපේක්ෂා කළ යුතු”බවයි.
පසුගිය වසරේ ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කළ දින 12 ක යුද්ධයට සාපේක්ෂව ඉරානය දැන් වඩාත් සූදානම් බව පැවසූ නයිනි, පවතින මිලිටරි ගැටුම “පූජනීය හා නීත්‍යානුකූල යුද්ධයක්” ලෙස හඳුන්වා තිබෙනවා.
මේ අතර, ඉරානය විසින් බහරේනයේ මනමා අගනුවර හෝටල් දෙකක් සහ නේවාසික ගොඩනැගිල්ලක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර ඇති බව බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා.
කෙසේ වෙතත්, එම ප්‍රහාරයෙන් දේපළ හානි සිදු වී ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.





