නායයෑමට ලක්වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසු රථවාහන ධාවනය සඳහා අද පෙවරුවේ විවෘත කෙරුණා.
කෙසේවෙතත් මාර්ගයට ඉහළින් ඇති පස් කඳු නායයෑමේ අවදානමක් පවතින බැවින් ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන තුරු සුපරික්ෂාකාරීව රිය ධාවනය කරන ලෙස මාර්ගය සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර, ඉන්දියාව හා පාකිස්ථානය ප්‍රදානය කළ ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගත් නෞකා දෙකක් අද කොළඹ වරායට පැමිණියා.
නායයෑමට ලක්වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසුව රථවාහන ධාවනය සඳහා අද පෙරවරු හතට විවෘත කෙරුණා.
නායයෑම නිසා මාර්ගයට වැටී තිබුණු පස් කඳු ඉවත් කර තිබුණද මාර්ගයට ඉහළින් ඇති පස් කන්ද නායයෑමේ අවදානමක් පවතින බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.
ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදෙන තුරු සුපරීක්ෂාකාරීව රිය ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
පස් කදු කඩා වැටීමෙන් අවහිර වී තිබූ මාතලේ ඉලුක්කුඹර මාර්ගයද මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
එමෙන්ම පේරාදෙණිය කටුගස්තොට මාර්ගය ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ අවහිර වූ මාර්ග රැසක් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. මේ අතර, නායයෑමේ අවදානම හමුවේ බදුල්ල ස්ප්‍රින්වැලි ප්‍රාදේශීය රෝහල වසා දැමීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් අද තීරණය කළා.
මේ අතර, දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් ජනතාවට පිහිටවීම සඳහා පැමිණි ඉන්දීය සහන සේවා වෛද්‍ය කණ්ඩායම් ඇගයීමට ලක් කිරීමේ වැඩසටහනක් ඊයේ පනාගොඩ යුද හමුදා ජනපදයේදී පැවැත්වුණා.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් කපිල දොලගේ විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ඔවුන්ගේ එම ආදර්ශමත් සේවය ඇඟයීමට ලක්කරමින් නිකුත් කරන ලද ඇඟයීමේ ලිපි ප්‍රදානය කරනු ලැබුවා.
සාගර්බන්දු මෙහෙයුම යටතේ 78 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලයක් පසුගිය දෙවැනිදා මෙරටට පැමිණියා.
ඔවුන් විසින් මහියංගණය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ ක්ෂේත්‍ර රෝහල මගින් හත්දහසකට අධික පිරිසකට වෛද්‍ය සේවා සපයනු ලැබුවා.
එහිදී ශල්‍යකර්ම 53ක් ද සිදු කර තිබෙනවා.
එම කටයුතු සාර්ථකව අවසන් කිරීමෙන් පසු ක්ෂේත්‍ර රෝහල් මෙහෙයුම් අවසන් කළ කණ්ඩායම ඊයේ පස්වරුවේ යළි ඉන්දියාව බලා පිටත්ව ගියා.
මේ අතර අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ගේ විශේෂ නියෝගයක් මත සිදු කෙරෙන අඛණ්ඩ මානුෂීය සහන මෙහෙයුමේ කොටසක් ලෙස, පාකිස්තනය ටොන් 200 ක මානුෂීය සහනාධාර තොගයක් ශ්‍රී ලංකාවට අද භාර දුන්නා.
පකිස්ථාන ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය විසින් එවන ලද මෙම තොගය සංකේතාත්මකව ප්‍රදානය කෙරුණේ කොළඹ වරාය පරිශ්‍රයේ දී.
මෙම මානුෂීය ආධාර තොගයට කූඩාරම්, බ්ලැන්කට්, ඇඳ ඇතිරිලි, ජීවිතාරක්ෂක ජැකට්, පිම්බෙන බෝට්ටු, ජලය ඉවත් කිරීමේ පොම්ප, කඳවුරු ලාම්පු, මදුරු දැල්, කිරිපිටි, මෙන්ම සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම අරමුණු කරගත් අත්‍යවශ්‍ය ඖෂධ ද ඇතුළත්.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ දුරකථන අංක පළ කරමින් අනාරක්ෂිත භාවයට පත් වූ දරුවන් පිළිබඳව විමසීම් කරන නොහදුනන තැනැත්තන් වෙත එම දරුන්ගේ තොරතුරු ලබාදීමෙන් වැලදී සිටින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ එම දරුවන්ගේ භාරකරුවන් ලෙස පෙනී සිටිමින් සහන සපයන මුවාවෙන් විවිධ නීතිවිරෝධී කටයුතු සඳහා යොමු කරන ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බවයි.





