අලි – මිනිස් ගැටුම හේතුවෙන් මිනිසුන්ගේ මෙන්ම වනඅලින්ගේද ජීවිත පවතින්නේ දැඩි අවදානමක බව නොරහසක්.
මෙම ගැටලුවට මේ වනතුරුත් ප්‍රායෝගික විසඳුම් නොලැබීම හමුවේ එම අර්බුද තවත් උග්‍ර වී තිබෙනවා.
එහි තවත් ප්‍රතිඵලයක් ලෙස වනඅලි පහරදීමක් හේතුවෙන් මහියංගණය ප්‍රදේශයේ තරුණියක්ද ජීවිතක්ෂයට පත්වුණා. ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව වනඅලි – මිනිස් ගැටුම පවතින්නේ දීර්ඝ කාලයක සිටයි.
ආහාර සොයා ගම්වදින වනඅලින් මහජනතාවගේ ජීවිත හා දේපළවලට හානි සිදුකරන අතර ඊට විසඳුමු ලබාදෙන ලෙසත් ජනතාව ඉල්ලා සිටින්නේද අද ඊයේ සිට නොවේ.
කෙසේවෙතත් මෙම ගැටලුව හේතුවෙන් සිදුවන මිනිස් ජීවිත මෙන්ම වනඅලින්ගේ ජීවිතවලද සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා.
ඊට ආසන්නතම සිදුවීම ලෙස මහියංගනය – ගැමුණුපුර ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් ආයතනයක සේවය යමින් සිටි 19 හැවිරිදි තරුණියක් වනඅලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
වනඅලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ තරුණිය ගිරාදුරු කෝට්ටේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්වුණා.
ප්‍රදේශවාසීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මාදුරුඔය ජාතික වනෝද්‍යානය සහ වස්ගමුව වන උද්‍යානය හරහා වන අලි ගමන් කරන මාර්ගය කඩිනමින් සකස් කර අලි මිනිස් ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසයි. මේ අතර, වැල්ලවාය – තුනේ කණුව ගම්මානයට මේ දිනවල වනඅලි තර්ජනය උග්‍ර වී ඇති බව ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා





