අයිසීසී T20 ලෝක කුසලාන තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ දින පහක් පමණයි.

අයිසීසී T20 ලෝක කුසලාන තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ දින පහක් පමණයි.
ඕනෑම අයිසීසී ඉසව්වක දී වැඩිම අවධානය දිනා ගන්නේ ක්‍රිකට් ලොව සාම්ප්‍රදායික පසමිතුරු ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය බවට විවාදයක් නැහැ.
නමුත් අවාසනාවකට මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී එවැනි තරගයක් නොපැවැත්වෙනු ඇති.
ඊට හේතුව වන්නේ දැනටමත් සියලු ප්‍රවේශපත්‍ර පාහේ විකිණි අවසන් එම තරගය පාකිස්තානය වර්ජනය කිරීමයි.
මේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය, පාකිස්තානයේ තීරණයට ප්‍රතිචාර දක්වමින්, තරගාවලියේ ජීවගුණය සහ පාරිශුද්ධ බවට එය හානියක් බව සඳහන් කළා.

T20 ලෝක කුසලානයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන A කාණ්ඩයේ තරගය වර්ජනය කිරීමට පාකිස්තානය තීරණය කර තිබෙනවා.
පාකිස්තාන රජයේ නිල X ගිණුම මගින් නිකුත් කරන ලද සටහනක සඳහන් වූයේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවට යාමට පාකිස්තාන කණ්ඩායමට රජය අවසර ලබා දී ඇති නමුත් “2026 පෙබරවාරි 15 වන දින ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරඟයේදී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම පිටියට නොයා යුතුය” යනුවෙන්.
එම තීරණයට හේතුවක් ප්‍රකාශයේ සඳහන් කර නැහැ.
මෙම තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන නායක සල්මන් ආගා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

“අපි නිසැකවම ලෝක කුසලානයට යනවා. ඒක අපේ තීරණයක් නෙවෙයි. අපිට කිසිම දෙයක් කරන්න බැහැ. අපේ රජය, අපේ සභාපති කියන දේ, අපි කරන්න ඕනේ ඒක. ඉතින් ඔවුන් කියන දේ අපි කරන්නම්.”
ක්‍රිකට් පිටියේ සාම්ප්‍රදායික පසමිතුරන් වන ඉන්දියා සහ පාකිස්තාන තරඟය ඕනෑම ICC තරඟාවලියක වඩාත්ම ලාභදායී මෙන්ම සාමාන්‍යයෙන් වැඩිපුරම නරඹන තරගයයි.
එයින් ප්‍රයෝජන ගැනීම සඳහා, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නරක අතට හැරී ඇති පසුබිමක වුවද 2012 සිට ඕනෑම ICC ඉසව්වක කණ්ඩායම් දෙක සැමවිටම එකම කාණ්ඩයේ සිටින බව ICC විසින් සහතික කරනු ලැබුවා.
ගෝලීය තරගාවලියකදී හැර ඉන්දියාව සහ පාකිස්තානය පසුගිය වසර 14 ක් තුළ කිසිදු ද්විපාර්ශ්වික තරගාවලියක් ක්‍රීඩා කර නැහැ.
දෙපාර්ශ්වය T20 ලෝක කුසලාන තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරඟයකදී හමුවුවහොත් කුමක් සිදුවේද යන්න පිළිබඳව තවමත් අවිනිශ්චිතයි.
කොස් නමුත් 2010 න් පසු කණ්ඩායම් අදියරේදී ඉන්දියා-පකිස්ථාන තරඟයක් නොපැවැත්වෙන පළමු පිරිමි ICC ඉසව්ව බවට 2026 T20 ලෝක කුසලානය පත්වනු ඇති.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ පාකිස්තානයේ තීරණය තරගාවලියේ ජීවගුණයට හා පරිශුද්ධභාවය විනාශ කරන බවයි.
ජාතික ප්‍රතිපත්තිමය කාරණාවලදී රජයන්ගේ භූමිකාවන්ට ගරු කරනු ලබන නමුත්, මෙම තීරණය ගෝලීය ක්‍රීඩාවේ හෝ පාකිස්තානයේ මිලියන ගණනක් ඇතුළුව ලොව පුරා රසිකයින්ගේ යහපත සඳහා හේතු නොවන බවත් අයිසීසී ය අවධාරණය කරනවා.
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තමන්ගේම රටේ ක්‍රිකට් සඳහා සැලකිය යුතු හා දිගුකාලීන ඇතිවිය හැකි බලපෑම් සලකා බලනු ඇතැයි බලාපොරොත්තු වන බව පවසන ICC ය, මෙය තමන් සාමාජිකයෙකු සහ ප්‍රතිලාභියෙකු වන ගෝලීය ක්‍රිකට් පරිසර පද්ධතියට බලපානු ඇති බවද සිහිපත් කරනවා.
සියලුම පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි යෝජනාවක් පාකිස්තානය විසින් ඉදිරිපත් කරනු ඇති බව අයිසීසීයේ අපේක්ෂාවයි.
පාකිස්තාන කණ්ඩායම අද සවස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
පෙබරවාරි 4 වැනිදා ඔවුන් කොළඹදී අයර්ලන්තයට එරෙහිව පුහුණු තරගයක් ක්‍රීඩා කරනවා.
පකිස්ථානය ඉන්දියාව, නැමීබියාව, නෙදර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ A කාණ්ඩයේ සිටින අතර, ඔවුන්ගේ සියලුම තරඟ ක්‍රීඩා කරන්නේ තරගාවලියේ සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාවේදී.
පාකිස්තානය T20 ලෝක කුසලානයේ ආරම්භක දිනය වන පෙබරවාරි 7 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව ඔවුන්ගේ පළමු තරගය ක්‍රීඩා කරන අතර, පසුව පෙබරවාරි 10 වන දින ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව සහ පෙබරවාරි 18 වන දින නැමීබියාවට එරෙහිව තරඟ කරනවා.
තරඟය වර්ජනය කළහොත් පාකිස්තානය ඉන්දියාවට එරෙහි තරඟයෙන් ලකුණු දෙක අහිමි වනු ඇති.
ICC හි ක්‍රීඩා කොන්දේසි වලට අනුව පාකිස්තානයේ ශුද්ධ ලකුණු අනුපාතයට ද මෙය බලපාන අතර ඉන්දියාවට ඉන් බලපෑමක් වන්නේ නැහැ.
මේ අතර ඉන්දියාව පෙබරවාරි 15 වැනිදා පැවැත්වීමට නියමිත තරගයට සහභාගී වන බව එරට ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවට පැමිණ පෙර පුහුණු වීම්වල මෙන්ම තරගය පෙර පැවැත්වෙන නිල මාධ්‍ය හමුවට සහභාගී වනු ඇති අතර තරගය පැවැත්වෙන ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට පැමිණ අයිසීසීය නිල වශයෙන් තරගය අතහැර දැමූ බව නිවේදනය කරන තෙක් එහි රැඳී සිටිනු ඇති.
මේ අතර ani වෙත අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති රජීව් ෂුක්ලා පැවසුවේ අයිසීසීය සමග සාකච්ඡා කිරීමකින් තොරව කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බවයි.

“ICC එක වැදගත් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා, ක්‍රීඩාශීලිත්වය ගැන කතා කරලා තියෙනවා. අපි ICC එකත් එක්ක සම්පූර්ණයෙන්ම එකඟයි. අපි ICC එකත් එක්ක කතා කරනකම් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ ගැන කිසිම අදහසක් දක්වන්නේ නැහැ.”

Share