අම්බලන්ගොඩ නගරයේ පෞද්ගලික ව්‍යාපාර ආයතනයක කළමණාකරුවෙක් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්දයෙන් කාන්තාවක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ නගරයේ පෞද්ගලික ව්‍යාපාර ආයතනයක කළමණාකරුවෙක් වෙඩිතබා ඝාතනය කිරීම සඳහා යොදාගත් බවට සැක කෙරෙන පිස්තොලයක් සහ රිවෝලවරයක් සමග හික්කඩුවේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර බෝම්බයක් අටවා ඇති බවට ලද ව්‍යාජ තොරතුරක් හේතුවෙන් අද පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තරමක නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා.
කෙසේ වෙතත් පොලිසිය සහ බෝම්බ නිශ්ක්‍රීය අංශය ඇතුලු විමර්ශන කණ්ඩායම් කිහිපයක් එම පරිශ්‍රයේ කළ විශේෂ සෝදිසි කිරීමකින් අනතුරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කටයුතු යළිත් සමාන්‍ය පරිදි සිදු කෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, කොල්ලුපිටිය ප්‍රදේශයේ ලැගුම් හලක රැඳී සිටියදී.
පසුගිය 22දා උදෑසන අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු සිය සේවා ස්ථානයේදීම වෙඩි තබා ඝාතනය කර තිබුනේ යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින්.
අපරාධ කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කළේ.
ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කරනු ලැබුවා.
එහිදී මෙම ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් පිරිසක් කොල්ලුපිටිය ප්‍රදේශයේ ලැගුම්හලක සිටින බවට ලද තොරතුරකට අනුව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ මෙම සැකකරුවන් 6 දෙනා ඉදිරි විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිසියට භාරදුන් බවයි.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඝාතනය සඳහා ගිනිඅවි ලබාදුන් කාන්තාවක් පිළිබඳවත් තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව හික්කඩුව ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී ඝාතනය සඳහා භාවිත කළ බව කියන පිස්තෝලය හා රිවෝල්වරයක්ද සොයාගනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ මෙහෙයවීමෙන් සිදුකෙරෙනවා.
මේ අතර ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටියදී පසුගිය 23 වැනිදා කොහුවලදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගියේ විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අවිශ්ක නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු බව පසුව අනාවරණ වුණා.

Share