අමරකීර්ති අතුකෝරළ ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ චූදිතයින් 12 දෙනෙකුට මරණ දඬුවම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ චූදිතයින් 12 දෙනෙකුට ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද මරණ දඬුවම නියම කරනු ලැබුවා.

තවත් විත්තිකරුවන් හතර දෙනෙකුට මාස 06ක සිර දඬුවම් නියම කළ අතර විත්තිකරුවන් 23 දෙනෙක් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා.

2022 මැයි 09 වැනිදා නිට්ටඹුව නගරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු ජයන්ත ගුණවර්ධන මහතාට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබුණේ මෙරට දේශපාලනය ඉතා උණුසුම් සහ තීරණාත්මක අදියරක පැවති අවස්ථාවකදී.
සාමකාමී ගොල්ෆේස් අරගල භුමියට දේශපාලන මැරයන් විසින් පහරදී පළාගොස් තිබූ අතර, එම මැරයන්ට දඬුවම් පැමිණවීමට රට පුරා නගරවල කෝපයට පත් ජනයා මහා මාර්ගවලට පැමිණ සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ද පොළොන්නරුව බලා යමින් සිටියේ, ගොල්ෆේස් අරගල භූමියට පහරදුන් දේශපාලන මැරයින් එක්රැස්වූ අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ දේශපාලන රැස්වීමට සහභාගීවීමෙන් පසුවයි .
ඒ අනුව මන්ත්‍රීවරයා ද මහජන කෝපයට ගොදුරු වූ අතර ඔහු සමග සිටි ඔහුගේ ආරක්ෂක නිලධාරියා, මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් සිය අත තිබූ පිස්තෝලය කෝපයට පත් මහජනයා වෙත එල්ල කර තිබුණා.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් කිහිප දෙනෙක් තුවාල ලැබීමත් සමග කෝපයට පත් තරුණ පිරිස් මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා සිය ග්‍රහණයට ගනිමින් ඔවුන් මහ මග දිගේ ඇදගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබුණා.
ඒ් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීමේ චෝදනා යටතේ විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධීකරණයේ චෝදනා ගොනු කරනු ලැබුවා.
ඉන් 37 දෙනෙකුට එරෙහිව ගම්පහ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදී නඩු පවරා තිබූ අතර, ඉතිරි 4 දෙනාගෙන් දෙදෙනෙකු එම ඝාතන සිදුවීම ආශ්‍රිත ගැටුමේදී තුවාල ලබා මිය ගොස් ඇති අතර අනෙක් දෙදෙනා මේ දක්වා අධිකරණය මගහරිමින් සිටිනවා.
විනිසුරු සහන් මාපා බණ්ඩාරගේ සභාපතීත්වයෙන් රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙළ යන ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දිගු කලක් තිස්සේ විභාග වූ අදාළ නඩුවේ තීන්දුව පසුගිය ජනවාරි 14 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණා.
නමුත් නඩුවේ විත්තිකරුවන් 41 දෙනෙකු සිටීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ විනිසුරු මඩුල්ල සෑම විත්තිකරුවෙක් සම්බන්ධයෙන් ම වෙන් වෙන් ව සාක්ෂි හා සීසීටීවි දර්ශන ආදිය සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව සඳහන් කරමින් එම තීන්දුව ප්‍රකාශ කිරීම අද දිනය දක්වා කල් තබනු ලැබුවා.
ඒ අනුව අදාළ නඩුවේ බෙදුණු තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණා.
විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතාගේ සුළුතර තීන්දුව මගින් සියලුම විත්තිකරුවන් සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවට තීන්දු කර තිබූ අතර, පැමිණිල්ල සාධාරණ සැකයෙන් ‌ඔබ්බට එම චෝදනා ඔප්පු කර නොමැති බවයි ඔහුගේ තීන්දුවේ සඳහන් වූයේ.
රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙළ යන මහාධිකරණ විනිසුරුවරුන්ගේ බහුතර තීන්දුව වූයේ , මිනී මැරැම් චෝදනා එල්ල වී තිබූ චූදියන් 12 දෙනෙකුට මරණ දඬුවම පැමිණවීමටයි.
එසේම නීති විරෝධී රැස්වීමේ සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් චූදිතයන් සිව් දෙනෙකු වරදකරුවන් කළ එම විනිසුරුවරු දෙපළ ඔවුන්ට මාස 6 ක සිර දඬුවමක් නියම කරමින් එම දඬුවම අවුරුදු 5 කට අත්හිටුවනු ලැබූ අතර, මරණකරුවන්ගේ බිරින්දෑවරු සඳහා රුපියල් 50,000 බැගින් වන්දි මුදලක් ගෙවිය යුතු බව හා දඩයක් වශයෙන් රුපියල් 10,000 ක මුදලක් ගෙවිය යුතු බවට ද නියෝග කළා.
සියලුම චෝදනා සම්බන්ධයෙන් චූදිතයන් 23 න් දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරුණා.
චූදිතයින්ට දඩුවම් නියම කිරීමත් සමග ගම්පහ අධිකරණ භුමියේ පැවතියේ දැඩි උණුසුම් ත්ත්ත්වයක් -NAT –

මෙම නඩු තීන්දුව සහ එහි විශේෂත්වය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයන් පළ කළේ මෙවැනි අදහසක්.

නඩු තීන්දුව සම්බන්ධයෙන් අමරකීර්ති අතුකෝරල මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද අදහස් පල කළා.


Share