අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4ට මාතර ආදාහනාගාරයේදී සිදු කෙරුණා.
මියයනවිට 83 හැවිරිදි වියේ පසූ වූ ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරුන් ද ඇතුළු දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා.
වසර හතලිහකට වැඩි කලක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටි දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාතර ආදාහනාගාරයේදී අද පස්වරුවේ සිදුකෙරුණා.
2009 වසරේ එල්ටීටීඊ සංවිධානය විසින් මාතර දී පුපුරුවා හරින ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට හසුවූ හිටපු අමාත්‍යවරයා හට ඉන්පසු ක්‍රියාකාරි දේශපාලනයෙන් ඉවත්වීමට සිදුවූයේ එම ප්‍රහාරයෙන් බරපතල ආබාධයන්ට ලක් වීම හේතුවෙන්.
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මියයනවිට 83 හැවිරිදියේ වියේ පසුවුණා.
1967 වසරේදී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළු වූ ඔහු 1971 වසරේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ඒකාබද්ධ ශිෂ්‍ය පෙරමුණේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරට 1970 දී විදුදය සරසවියේ මුල්ම රැස්වීම ඇමතීම සඳහා කටයුතු සංවිධාන කළ මහින්ද විජේසේකර එවක ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන නිල ප්‍රකාශකයා ද වුණා.
පසුව 1971 දී ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද කැරැල්ලට එක් වී පසුව ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වනවා.
මහින්ද විජේසේකර 1981 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වන්නේ ඔහුගේ වාමාංශික දේශපාලන ධාරාවෙන් ඉවත් වෙමින්.
පසුව මහින්ද විජේසේකර එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ලෙසත් කටයුතු කළා.
නැවතත් වසර 2007 දී, මහින්ද විජේසේකර එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය හා එක්වනවා.
වසර 20කට අධික පාර්ලිමේන්තු දේශපාලන ජීවිතය තුළ මහින්ද විජේසේකර විවිධ රජයන් කිහිපයක් යටතේ කැබිනට් අමාත්‍ය ධුර ගණනාවක් හොබවා තිබෙනවා.
ඔහු දරන ලද ප්‍රධාන අමාත්‍ය ධුර වන්නේ 2008 – 2010 තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යධූරය, 2007 – 2008 විශේෂ ව්‍යාපෘති අමාත්‍දධුරය, 2000 – 2004 ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යධුරය සහ 1999 – 2000 වනවගා සහ පාරිසරික අමාත්‍යධුරයයි.
මීට අමතරව ඔහු වරාය, නාවික, පුනරුත්ථාපන, නිවාස සහ නාගරික සංවර්ධන වැනි ක්ෂේත්‍රයන්හි ද අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර හොබවා තිබෙනවා.
මාතර කොටුවේ නිවසේ තැන්පත් කර තිබූ මහින්ද විජේසේකර ගේ දේහයට ගෞරව දැක්වීම සඳහා හිටපු සහ වත්මන් දේශපාලනඥයින් රැසක් පැමිණ සිටියා.





