අප්‍රේල් පළමුවැනිදා සිට විදුලි ගාස්තු සියයට 10කින් ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.
කෙසේ වුවත් පාරිභෝගිකයින් පාවිච්චි කරන විදුලි ඒකක අනුව මෙවර විදුලි ගාස්තුව ඉහළ යන ප්‍රතිශතය වෙනස් වී තිබීම විශේෂත්වයක්.
මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලා සිටි ගාස්තු වැඩිකිරීම 13.56%ක්.
මාසික පාරිභෝජනය ඒකක 30 හෝ ඊට අඩු ගෘහස්ත විදුලි පාරිභෝහිකයන් සඳහා 4.3%ක ගාස්තු ඉහළ දැමීමක් සිදුකර තිබෙන අතර බිල්පත ඉහළ යනු ලබන්නේ උපරිම වශයෙන් රුපියල් 15.00කින්.
ගෘහස්ත ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයන් සඳහා 6.9%ක ගාස්තු ඉහළ දැමීමක් සිදුකෙරුණා.
එම කාණ්ඩයේ උපරිම ගාස්තු වැඩිකිරීම රුපියල් 45.00ක්.
ඒකක 61ත් 90ත් අතර ගාස්තුව ඉහළ නංවා ඇත්තේ 6.9%කින්.
ඒ අනුව එම කාණ්ඩයේ බිල්පතේ උපරිම ඉහළ රුපියල් 120.00ක් වනු ඇති.
මාසික විදුලි පරිභෝජනය ඒකක 91ට වැඩි, ඒකක 180ට අඩු කාණ්ඩය සදහා සියයට 7.2ක ප්‍රතිශතයකින් ගාස්තු ඉහල යන අතර එම කාණ්ඩයේ විදුලි බිල්පතෙහි උපරිම ඉහලයාම රු. 420කට සීමා වනවා.
එමෙන්ම ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයන් සඳහා 25.3%ක විදුලි ගාස්තු ඉහළ දමා තිබෙනවා.
දෙවැනි කාර්තුවට අදාළව එක් එක් කාණ්ඩවල ස්ථාවර ගාස්තු සංශෝධනය කර නැහැ.
ගෘහස්ත කාණ්ඩයේ ඒකකට 60ට අඩු පාරිභෝගිකයන් සඳහා ඒකක 0 සිට 30 දක්වා කාණ්ඩයේ ඒකකයට අය කෙරුණු රුපියල් 4.50ක මුදල රුපියල් 5.00ක් දක්වා ඉහළ නංවා ඇති අතර ඒකක 31 සිට 60 දක්වා ඒකකයක නව ගාස්තුව රුපියල් 9ක්.
ගෘහස්ත කාණ්ඩයේ පරිභෝජනය ඒකක 60 ඉක්මවන පාරිභෝගිකයන් සදහා පළමු ඒකක 60 සඳහා ඒකකයක නව මිල රුපියල් 14ක් දක්වා වැඩි කර තිබෙනවා.
ඒකක 61 සිට 90 දක්වා ඒකකයක ගාස්තුව රුපියල් 20ක්.
ඒකක 91 සිට 120 දක්වා ඒකකයට අය කෙරුණු රුපියල් 24.00ක ගාස්තුව රුපියල් 28.00ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.
ඒකක 121 සිට 180 දක්වා ඒකකයක නව ගාස්තුව රුපියල් 44ක්.
ඒකක 181ට වැඩි විදුලි ඒකකයක් සඳහා පැවති රුපියල් 61ක ගාස්තුව රුපියල් 85 දක්වා වැඩි කර තිබෙනවා.
මාසික ඒකක පරිභෝජනය ඒකක 180ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු වන්නේ නැහැ.
නමුත් විදුලි පරිභෝජනය ඒකක 180ට වැඩි නම් පමණක් 9.6%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.
පොදු කාර්ය සහ පාරිභෝගික කාණ්ඩය සඳහා විදුලි ගාස්තු වැඩි වීම 8%ක්.
කර්මාන්ත අංශය සඳහා විදුලි ගාස්තුව 8.7%කින් සහ හෝටල් අංශය සඳහා 9.9%කින් ගාස්තු වැඩි කර තිබෙනවා.
රාජ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තුව වැඩි කිරීම 14.1%ක්.





