අන්තෝනියෝ ගුටේරෙස් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙම හමුව සිදු වුණේ නවදිල්ලියේ පැවැති AI Impact 2026 සමුළුවට සමගාමීවයි.

මෙම හමුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ, වඩා හොඳ ලෝකයක් සඳහා AI උපයෝගී කරගැනීම අරමුණු කරගත් ඕනෑම උත්සාහයකට ඉන්දියාවේ සහයෝගය අවධාරණය කළ බවයි.

මේ අතර, තාක්ෂණික සහ ආර්ථික ක්ෂේත්‍රයේ නවතම පියවරක් ලෙස ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ PAX SILICA (පැක්ස් සිලිකා) ගිවිසුමට සහ කෘත්‍රිම බුද්ධි සැපයුම් දාම වැඩසටහනට නිල වශයෙන් එක් වී තිබෙනවා.

AI IMPACT සමුළුව අතරතුරදී ගිවිසුමට අත්සන් තැබුණා.

PAX SILICA (පැක්ස් සිලිකා) යනු අමෙරිකාවේ ප්‍රධාන උපායමාර්ගික ප්‍රතිවාදියා වන චීනයෙන් එල්ලවන දැඩි තරගකාරීත්වය මැද කෘත්‍රිම බුද්ධිය (AI) සහ අර්ධ සන්නායක සැපයුම් දාමයන් සුරක්ෂිත කිරීමට අරමුණු කරගත් මුලපිරීමක්.

දැනටමත් ඉන්දියාවේ චිප් නිෂ්පාදන මධ්‍යස්ථාන 10 ක් පමණ ඉදිවෙමින් පවතින අතර, මෙම ගිවිසුම හරහා අමෙරිකානු තාක්ෂණය සහ ආයෝජන තවදුරටත් ඉන්දියාවට ගලා ඒම සිදුවනවා.

Share