අන්තර්ජාතික ලීග් පන්දුවාර විස්ස තරගාවලියේ තවත් තරගයක්

අන්තර්ජාතික ලීග් පන්දුවාර විස්ස තරගාවලියේ තවත් තරගයක් ගල්ෆ් ජයන්ට්ස් සහ ඩෙසට් වයිපර්ස් අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.
එහිදී කාසියේ වාසිය දිනා ගත් ඩෙසර්ට් වයිපර්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ගල්ෆ් ජයන්ට්ස් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 179ක් රැස්කර ගත්තා.
මෙවර තරගාවලියේ කැපී පෙනන දස්කම් දැක්වූ පැතුම් නිස්සංක අඛණ්ඩව තෙවැනි අර්ධ ශතකය රැස් කළා.
පැතුම් පන්දු 29ක් තුළදී ලකුනු 56ක් රැස්කර ගත්තේ හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක්ද සමගින්.
අන්තර්ජාතික ලීග් පන්දුවාර විස්ස තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන පැතුම් මේ වන විට තරග 3ක් අවසානයේ ලකුණු 204ක් රැස්කරගෙන සිටිනවා.
ඔහුට අනගි සහයක් වූ රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 41ක් රැස්කර ගත්තා.
පන්දු යැවීමේදී කුසෙයිමා තන්වීර් සහ නූර් අහමඩ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු පුවරුව සම කිරීමට සමත් වුනා.
ඒ අනුව තරගයේ ජය තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වුනා.
එහිදී පළමුව පන්දුවට පහර දුන් ඩෙසට් වයිපර්ස් කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 13ක් රැස්කර ගත්තා.
ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමට සුපිරි පන්දුවාරයේදී රැස්කර ගත හැකිවූයේ ලකුණු 9ක් පමණයි.

Share