අධික වර්ෂාවත් සමඟ වැල් දොඩම් වගාකරුවන් දැඩි අසීරුතාවයකට

පසුගියදා පැවති අධික වර්ෂාවත් සමඟ ගලේවෙල – බඹරගස්වැව ප්‍රදේශයේ වැල් දොඩම් අස්වැන්න විනාශ වීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටින බව වැල්දොඩම් වගාකරුවන් පවසනවා. මේ හේතුවෙන් තම අස්වැන්නට වෙළඳපොලේ නිසි මිලක් ද නොලැබෙන බවටයි ඔවුන් චෝදනා කරන්නේ. මේ පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමුකර තමන්ට සහනයක් ලබා දෙන්නැයි වැල්දොඩම් වගාකරුවන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ද අනුග්‍රහය ඇතිව ගලේවෙල – බඹරගස්වැව ප්‍රදේශයේ වැල් දොඩම් වගා කරමින් තම ජීවනෝපාය මාර්ගය සකසා ගන්නා වගාකරුවන් 100කට අධික ප්‍රමාණයක් ජීවත් වනවා. රජය මගින් සහන රැසක් ලබා දී මෙම වැල්දොඩම් වගාව ගොවීන්ට හඳුන්වා දුන් අතර ඉන් බොහෝ පිරිසක් තම ජීවනෝපාය මාර්ගය සාර්ථක කරගෙන තිබෙනවා. කෙසේ වෙතත්, පසුගියදා පැවති අධික වැසිත් සමඟ විදේශ වෙළඳපොල ඉලක්ක කර ගනිමින් වගා කළ වැල් දොඩම් අස්වැන්න විනාශ වී යාමේ තර්ජනයකට මුහුණ දෙමින් සිටින බවයි වැල්දොඩම් වගාකරුවන් පවසන්නේ. එසේම වර්ෂාවේ බලපෑමෙන් නිසි ප්‍රමිතියෙන් යුතු ගෙඩි හට නොගන්නා අතර වැල් දොඩම් ශාක ද විනාශ වෙමින් පවතින බවයි ගොවීන් පැවසුවේ. වෙළඳපොලේ වැල් දොඩම් කිලෝවක් පසුගිය කාලයේ රුපියල් 400 – 500 ත් අතර මිලකට අලෙවි වූ අතර මේ වනවිට වෙලඳපොලේ වැල්දොඩම් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 100 ත් 130ත් අතර මිලකටයි. ඒ අනුව තම අස්වැන්නට නිසි මිලක් නොලැබීමෙන් ගැටලු රැසකට මුහුණ පාන බවත් එම වගාකරුවන් සඳහන් කළා. කෙසේ වෙතත් මේ වනවිට තම වගාවන්ට සිදුවූ හානි වලට යම් සහනයක් ලබා දෙන ලෙසට වැල්දොඩම් වගාකරුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බලධාරින්ගෙන් ඉල්ලීමක් කරනවා.

Share