කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති, දෙව්නි මෝරි අති උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා කර ගැනීමට මෙරට සැදැහැත් ජනතාවට අද හයවැනි දිනටත් අවස්ථාව උදාවනවා. හෙට උදෑසන 6 දක්වා මෙලෙස වන්දනා කරගැනීමට අවස්ථාව උදාවන, වන්දනීය, අති උතූම්, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ඉන අනතුරුව යළි ඉන්දියාවට වැඩම කරවීමට නියමිතයි.
පසුගිය 5 වැනිදා සවස හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කෙරුණු දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පසුගිය පස්වැනිදා සිට මෙරට සුවහසක් සැදැහැවතුන්ට වන්දනා කරගැනීම සඳහා අවස්ථාව උදාවුණා.
ඒ අනුව අද හය වැනි දිනටත් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගැනීමට අවස්ථාව හිමිවෙනවා.
සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා සතර දෙසින් පැමිණි ජනී ජනයාගෙන් ගංගාරම විහාරස්ථාන පුද බිම තවදුරටත් පිරී ඉතිරී පවතින අතර විහාරස්ථාන පරිශ්‍රය අවට මාර්ග අසළද දිගු පෝළීම්වල ජනතාව පිළිවෙතින් පෙළගැසී රැඳී සිටින්නේ මේ දිනවල දිවා කාලයේ පවතින දැඩි හිරු රශ්මියද නොතකමින්.
දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගැනීම සඳහා මෙලෙස පැමිණෙන ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂාව ඇතුළ සියලු පහසුකම් සැපයීමට කොළඹ නගර සභාව ඇතුලු රාජ්‍ය ආයතන බොහෝමයක් පසුගිය දින කිහිපය පුරාම කටයුතු කළා.
පුරා දින 7ක් මෙරට බැතිමතුන්ගේ සදා වන්දනීය වූ අති උතුම් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ හෙට උදෑසන වත් පිළිවෙත් මධ්‍යයේ යළි ඉන්දියාවට වැඩම කරවීමට නියමිතයි.
එම කටයුතු සෘජු අධීක්ෂණය යටතේ ක්‍රමානුකූලව සිදුකිරීම සඳහා මධ්‍ය ප්‍රදේශ් ආණ්ඩුකාර මංගුභායි පටෙල්, අරුණචාල් ප්‍රදේශ් නියෝජ්‍ය මහ ඇමති චෞනා මෙයින් ඇතුළු දූත පිරිසක් ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.





