කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අද සිට පවතින වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.
පැවති අධික වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයකින් ජල ගැලීම් වාර්තා වූ අතර නිල්වලා ගඟ ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. පවතින අධික වර්ෂාවත් සමග මාතර නිල්වලා ගඟේ අතු ගංගාවක් වන උරුබොක්ක ඔය ඌරව ප්‍රදේශයෙන් සුලු ගංවතුර මට්ටම ඉක්මවා ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් අවට පහත් බිම් රැසක් ජලයෙන් යටවුණා. ඌරුබොක්ක ඔය පිටාර ගැලීමෙන් කටුවන නගරය ද ජලයෙන් යට වුණා.
ජල පහරට හසුවීමෙන් 53 හැවිරිදි පුද්ගලයෙක් ද මියගොස් ඇතැයි පොලිසිය පැවසුවා.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ ඉදිරි පැය 24 තුළ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරුස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. මේ අතර ගිංගඟ පිටාර ගැලීම හේතුවෙන් දෙල්ලව – ගාලුපාරේ, නෙලුව, තවලම, හිනිදුම සහ උඩුගම දක්වා මාර්ග කොටස ජලයෙන් යටවීමෙන් ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙනවා. ගාල්ල, මාතර දිස්ත්‍රික්ක දෙකෙහි ස්ථාන කිහිපයක් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමන අපහසුතාවයන්ට ලක් වූ මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත ළඟා වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් බෝට්ටු යොදවා තිබුණා. එසේම බලපෑමට ලක්වූ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත ළඟාවීම සඳහා යුද්ධ හමුදාවේද සහාය හිමි වුණා. මේ අතර අධික වර්ෂාවත් සමග රජාංගනය හා අංගමුව ජලාශවල වාන් දොරටු මේ වන විට විවෘත කර තිබෙනවා.
එම ජලය මුදා හැරෙන්නේ කලා ඔයටයි. ඉහළ මහවැලි ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව පවතින අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු හතරක් අද අලුයම විවෘත කිරීමට කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගත්තා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරන්නේ අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බවයි.





