අද යලි ඇරඹෙන පාසල්

දිට්වා සුළිකුණාටුවේ බලපෑම් හේතුවෙන් කල්දැමුණු දිවයින පුරා රජයේ පාසල්වල තුන්වැනි පාසැල් වාරයේ දෙවැනි අදියර අද ආරම්භ වුණා. කෙසේවෙතත් ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් අද ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. දිට්වා සුලි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙරට පළාත් රැසක් දැඩි බලපෑමට ලක්වූ අතර පුද්ගලයින් විශාල පිරිසක් පීඩාවට පත්වුණා.
ඒ අනුව පසුගිය 8 වැනිදා ආරම්භ කිරීමට නියමිත වූ රජයේ පාසල්වල තෙවැනි වාරයේ දෙවැනි අදියරේ අධ්‍යයන කටයුතු කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළා.
පැවති තත්ත්වය පහව යෑමෙන් පසු අද සිට පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තීරණය කෙරුණා.
ඒ අනුව බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද යන පළාත්වල සියලු පාසල් අද ආරම්භ කරනු ලැබුවා.
නමුත් ආපදාවෙන් දැඩි බලපෑම් එල්ල වූ ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් තවමත් විවෘත කිරීමේ හැකියාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

මේ අතර පෙර දැනුම්දුන් පරිදි දුෂ්කරතාවන්ට පත්වූ ගුරුභවතුන් සහ සිසු දරුවන් තමන්ට පහසු ඇඳුමකින් පාසැල් වෙත පැමිණි සිටි ආකාරයක් දක්නට ලැබුණා. මේ අතර 2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ‍ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ නොපවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් අදාළ නිලධාරීන්ට සහ සියලුම විදුහල්පතිවරුන්ට යළි දැනුම් දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මීට පෙර දැනුම් දී ඇති උපදෙස් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර ප්‍රවාහන අපහසුතා පවතින, ආපදාවට ලක් වූ පාසැල්වල සිසුන්ට තම පදිංචියට ආසන්නම පාසලෙහි තාවකාලිකව අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබාදිය යුතු අතර, ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ පූර්ණ බලතල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරා තිබෙනවා.

අද ඇරඹුණු රජයේ පාසැල්වල තෙවැනි වාරයේ දෙවැනි අදියර ලබන 22 වැනිදා දක්වා පැවැත්වෙන අතර යළි නත්තල් නිවාඩුව සඳහා 23 වැනිදා සිට 28 දක්වා නිවාඩු ලබාදෙනු ඇති.
තුන්වන අදියර සඳහා පාසල් එළඹෙන 29 වැනිදා ආරම්භ කර 31 වැනිදා දක්වා පවත්වා මේ වසරට අදාළ පාසල් අධ්‍යයන කටයුතු අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

Share