රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද යළි වැඩ වර්ජනයක නිරත වනවා.
පසුගිය අඟහරුවාදා වැඩවර්ජනයක නිරතවූ වෛද්‍යවරු අද යළි වර්ජනයක නිරත වීම හේතුවෙන් සායන හා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තු වන රෝගීන්ට සිය සේවා ලබා ගැනීම සඳහා දින හයක් බලා සිටීමට සිදු වනවා.
වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියේ අක්‍රමිකතා නිවැරදි නොකිරීම හේතුවෙන් වර්ජනයේ නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.
ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුවට දේශපාලන තීන්දු තීරණ හරහා සිදු කරන ලද අක්රමිකතාවන්ට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය අඟහරුවාදා දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වුණා.
ඊයේ රැස් වූ සංගමයේ විධායක සභාව තීරණය කර තිබුණේ වර්ජනය අදත් ක්‍රියාත්මක කිරීමටයි.
ඒ අනුව මේ සතියේ දිවයිනේ රජයේ රෝහල්වල සායන හා බාහිර ප්‍රතිකාර කටයුතු සිදු කෙරුණේ පසුගිය සඳුදා පමණයි.
වර්ජනය හේතුවෙන් දින දෙකක් සහ රජයේ නිවාඩු හේතුවෙන් අනෙක් දින දෙකේ ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ.
ඒ අනුව මෙරට රජයේ රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර සේවා යළි ක්‍රියාත්මක වන්නේ ලබන සඳුදායි.
සායන සහ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර සේවා ලබා ගැනීමට දිවයින පුරා රජයේ රෝහල්වෙත පැමිණි ජනතාව වෛද්‍ය වර්ජනය හේතුවෙන් දැඩි දුෂ්කරතාවකට පත් ව සිටියා.





