අදත් ක්‍රියාත්මක වෛද්‍ය වර්ජනය

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාවලියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි.

එහි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද දහවල් 12ට පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බව ටීවී සුප්‍රීම් නිව්ස් කළ විමසීමකදී එම සංගමය සඳහන් කළා.

වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය දේශපාලනීකරණයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ‍පසුගිය අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වුණා.

නීත්‍යානුකූල සහ පිළිගත් ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කරමින් ශ්‍රේණිධාරී වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුවට දේශපාලන මැදිහත්වීම් හරහා සිදුවන අක්‍රමිකතාවලට ‍විරෝධය පල කිරීම වර්ජනයේ අරමුණයි.

වර්ජනය ⁣හේතුවෙන් අද උදෑසන 8 සිට දිවයින පුරා සියලුම ර⁣ජයේ රෝහල් සහ සෞඛ්‍ය සේවා ආයතනවල සායනික සහ දෛනික ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම ඇනහිටින අතර, හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් පමණක් ක්‍රියාත්මක කෙරුණා.

මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා ප්‍රතිකාර ඒකක, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුළ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.

මේ අතර වෘත්තිය ක්‍රියාමාර්ගයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා.

⁣මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනයට සහය නොදක්වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය තුළ ඇත්තේ පටු දේශපාලන අරමුණක් බවට සම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය චෝදනා කරනවා.

Share