ගුවන් මගින් මෙරටට ගෙනා විශාලතම මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත් භික්ෂූන් 22 දෙදෙනා දින 07ක රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ අවසර ලබා දුන්නා.
සිද්ධියට අදාළව ගම්පහ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අනෙක් භික්ෂුව අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
තායිලන්තය බැංකොක් සිට මෙරටට පැමිණි භික්ෂුන් 22 දෙනෙකුගේ ගමන් මළු තුළ සඟවා තිබූ හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 110ක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.
සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ පස්වරුවේ ඉදිරිපත් කළා.
පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ සැකකරුවන් සියලු දෙනා මැයි 02 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවයි.
මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ඒ සඳහා අවසරය ලබා දුන්නා.
මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ සැකකරුවන් අතර සිටින මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි භික්ෂූන් තිදෙනෙක් මෙම සංචාරය සංවිධාන කර ඇති බවයි.
ඔවුන් විසින් තම මිතුරන් වන අනෙකුත් භික්ෂූන් සම්බන්ධ කරගෙන ඇත්තේ facebook ඔස්සේයි.
මෙම විදේශ සංචාරය සම්බන්ධීකරණය කළ බව කියන තවත් හිමිනක් ඊයේ ගම්පහ මීගහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකාර හිමිනම මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් සිදුකරන ලද වැටලීම්වලට අදාළව බලපිටිය සහ හලාවත අධිකරණ භාරයේ තිබූ නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝග්‍රෑම් 22 යි ග්‍රෑම් 888ක්, කේරල ගංජා කිලෝ ග්‍රෑම් 33 යි ග්‍රෑම් 122ක් හා ගංජා කිලෝ ග්‍රෑම් 247 යි ග්‍රෑම් 940ක ප්‍රමාණයක් අද උදෑසන විනාශ කරනු ලැබුවා.
ඒ පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත දහන උදුන තුළ දහනය කිරීමෙන්.





