අණ නොතකා පලායමින් සිටි වෑන් රථයයකට පොලිසිය සිදුකළ වෙඩි තැබීම හේතුවෙන් යාපනය කයිට්ස් තරුණයෙකු මියයයි

නැවැත්වීමට සිදුකළ පොලිස් අණ නොතකා පලායමින් සිටි වෑන් රථයක් නැවැත්වීම සඳහා යාපනය කයිට්ස් පොලිසිය සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් වෑන් රථයේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
අද අලුයම් කාලයේ කයිට්ස් – අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී සැක කටයුතු වෑන් රථයක් නැවැත්වීම සඳහා පොලිසිය විසින් සංඥා කර තිබුනා.
කෙසේ වෙතත් එම වෑන් රථය අණ නොතකමින් මණ්ඩතිව් දෙසට අධික වේගයෙන් ධාවනය කර තිබෙනවා.
එහිදී වෑන් රථය නවත්වා ගැනීම සඳහා පොලීසිය උත්සාහ කළත් එය තවදුරටත් නොනවත්වා පලා යාම හේතුවෙන් පොලිසිය අහසට වෙඩි තබා රථය නවතා ගැනීමට උත්සාහ කර තිබෙනවා.
කෙසේ වෙතත් එම අනතුරු ඇඟවීමත් නොසලකා නොනවත්වා පලා ගිය වෑන් රථය නවතා ගැනීම සඳහා පොලිසිය විසින් වෑන් රථයට වෙඩි තබා ඇත්තේ ඉන් අනතුරුව බවයි පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ.
වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 17ක් වූ වඩුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම වෑන් රථයේ පිටුපස ආසන සියල්ල ගළවා ඉවත් කර තිබී ඇති අතර වෑන් රථයේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල වෑන් රථය කිසියම් නීති විරෝධී ක්‍රියාවක් සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවට සැක කෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කයිට්ස් පොලිසිය හා යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකරනු ලබනවා.

Share