මිනිසා සඳමත පා තබා වසර 50කට පසු නැවත මිනිසුන් සඳ බලා යන පළමු ගමන සනිටුහන් කරමින් Artemis II රොකට්ටුව මෙරට වේලාවෙන් අද අලුයම සාර්ථකව දියත් කෙරුණා.
දින 10ක මෙහෙයුමක් වන මෙම ගමනට අමෙරිකානු, ගගනගාමින් තිදෙනෙකු සහ කැනේඩියානු ගගනගාමියෙක් එක් වෙනවා.
කෙසේ වෙතත් මේ ගමනේදී සඳ මත ගොඩ බැසීමක් සිදු නොවන අතර මිනිසුන් සහිතව ගැඹුරු අභ්‍යවකාශයේ ගමන් කිරීමට යානයේ පද්ධති කෙතරම් සුදුසු දැයි පරීක්ෂා කිරීම මෙහි අරමුණයි.
මිනිසුන් විසින් සඳ මතුපිටට ගිය පළමු ගමන සනිටුහන් වූයේ 1969 ජූලි 16 වන දිනයි.
ඇපලෝ 11 මෙහෙයුම ඔස්සේ දියත් කරන ලද මේ ගමනේ දී 1969 ජූලි 21 වන දින නීල් ආම්ස්ට්‍රෝං සම්බන්ධීකරණ විශ්ව කාලය හෙවත් UTC වේලවෙන් 02:56 ට සඳ මත ඇවිද ගිය පළමු මිනිසා බවට පත්වුනා.
එසේම නීල් ආම්ස්ට්‍රෝං ඉතිහාස ගත වූයේ, මිනිසුන් වෙනත් ලෝකයකට ගොඩ බැස්ස පළමු අවස්ථාව ද සනිටුහන් කරමින්.
මෙම ගමනට නීල් ආම්ස්ට්‍රෝං සමග එඩ්වින් “බස්” ඕල්ඩ්රින් ද එක් වූ අතර ඔහු නීල්ට වඩා විනාඩි 19ක් පසුපසින් සඳ මතට පා තැබුවා.
මෙම ඉතිහාසගත පමණට එක් වූ අනෙක් පුද්ගලයා වූ මයිකල් කොලින්ස් කොලොම්බියා යානයත් සමග චන්ද්‍ර කක්ෂයේ රැඳී සිටියේ ඔවුන් නැවත පෘථිවිය කරා පැමිණෙන ගමන සම්බන්ධීකරණය කරමින්.
පැය 21/2 චන්ද්‍ර ගවේශනයකින් පසු නැවත කොලොම්බියා යානය සමග එක්වූ ඔවුන් 1969 ජූලි 24 වන දින පැසිෆික් සාගරයට කැප්සියුලයක් මාර්ගයෙන් ගොඩ බැස්සා.
මෙම ඓතිහාසික ගමනෙන් වසර 57ට පසු මිනිසුන් සඳ බලා යන ගමනක් සනිටුහන් කරමින් Artemis II මෙහෙයුම ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථකව දියත් කෙරුණා.
මෙම ගමන සඳහා ගගනගාමීන් සිව්දෙනෙකු ඇතුළත්.
රීඩ් වයිස්මන් යානයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන අතර නියමුවා ලෙස කටයුතු කරන්නේ වික්ටර් ග්ලෝවර්.
ඊට අමතරව ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානුවෙකු වන ජෙරමි හැන්සන් යන ගගනගාමීන්ද ඊට ඇතුළත්.
මෙහි සූවිශේෂීත්වය වන්නේ ක්‍රිස්ටිනා කොක් සඳ වෙත යන පළමු කාන්තාව ලෙස සහ පළමු කළු ජාතිකයා ලෙස වික්ටර් ග්ලෝවර් ඉතිහාසයට එක් වීමයි.
දින 10ක මෙහෙයුමක් වන මෙම ගමනේදී ඔවුන් සඳ වටා ගොස් නැවත පෘථිවියට පැමිණෙන අතර, සඳ මත ගොඩබැසීමක් සිදු වන්නේ නැහැ.
මෙම ගමනේ අරමුණ වන්නේ මිනිසුන් සහිතව ගැඹුරු අභ්‍යවකාශයේ ගමන් කිරීමට මෙම යානයේ ක්‍රියාකාරීත්වය කෙතරම් සුදුසු දැයි පරීක්ෂා කිරීමයි.
මෙම ගමනේ සාර්ථකත්වය 2027 දී Artemis III ඔස්සේ සැලසුම් කර ඇති මෙහෙයුම මගින් සඳ මත ගොඩබැසීම සඳහා පදනම වනු ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
Artemis II මෙහෙයුම සඳහා භාවිතා කරන Orion (ඔරායන්) යානයේ ප්‍රධාන හිමිකරු වන්නේ ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන NASA (නාසා) ආයතනයයි.
ඔරායන් යානය ජාත්‍යන්තර සහ පෞද්ගලික සමාගම්වල සහයෝගීතාවයෙන් නිපදවා තිබෙනවා.
වෙනත් කිසිදු අභ්‍යවකාශ යානයකට වඩා ඈතට ගමන් කළ හැකි සහ මිනිසුන් වැඩි කාලයක් රඳවා තබා ගත හැකි අතිනවීන තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කර ඇති මෙම යානය ප්‍රබල තාප ආවරණයක් සහිතව නිර්මාණය කර තිබීමද විශේෂත්වයක්.
යානයේ පරිගණක පද්ධතිය ඉතා වේගවත් වන අතර, පෘථිවියේ සිට කිසිදු උපදෙසක් නොමැතිව තනිවම වුවද පියාසර කිරීමට සහ අනතුරු හඳුනා ගැනීමට මෙයට හැකියාව පවතිවනවා.
මේ අතර මෙම ගමන සමඟ අභ්‍යවකාශ ගවේෂණය සඳහා ලෝකවාසී ජනතාවගේ උනන්දුව සහ සහභාගීත්වය ලබා ගැනීම සඳහා “Fly Your Name on Artemis” නම් වැඩසටහනක් නාසා ආයතනය විසින් ලොව පුරා දියත් කළා.
ඒ අනුව ඒ සඳහා ලොව පුරා විසිරී සිටින පුද්ගලයින් මිලියන 3.3කට අධික සංඛ්‍යාවක් සිය නම් ලබා දුන් අතර අදාළ නම් සඳහන් කළ කුඩා චිපයක් මෙම ගමනේදී රැගෙන යාමත් විශේෂත්වයක්.





