බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, මෙම ඝාතන සිද්ධියට විරෝධය පළ කරමින් නීතිඥවරු අද දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත් වුණා.
අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක රථගාලේ නවතා තිබූ මෝටර් රථයක් තුළ දී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය 13 වැනිදායි.
වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථය පෙරේදා රාත්‍රියේ බද්දේගම අගලිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගිනි ගනිමින් තිබියදී පොලිසිය සොයා ගත්තා.
මෙවන් පසුබිමක් තුළ එම ද්විත්ව ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් සිව් දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, නීතිඥවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හදිසි මහ සභා රැස්වීමක් ඊයේ කැඳවා තිබුණා.
එහිදී තීරණය කෙරුණේ සියලු නීතිඥයින් අද අධිකරණ කටයුතුවලින් ඉවත් වීමටයි.
ඊට අමතරව තවත් තීරණ තුනක් ඊයේ රැස්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගනු ලැබුවා. ඒ අනුව දිවයින පුරා අධිකරණවල අද දින කැඳවනු ලැබූ නඩු කටයුතු සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥයින් පෙනී සිටියේ නැහැ. මේ අතර තලංගම, අකුරේගොඩදී ඝාතනය වූ නීතිඥයාගේ සහ ඔහුගේ බිරිඳගේ දේහයන් ඊයේ පෙරවරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කර තිබුණා. අනතුරුව එම දේහයන් පිටිගල පිහිටි ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන එනු ලැබුවා.
එම දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ පිටිගල ගොඩාමුල පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.





