බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, මෙම ඝාතන සිද්ධියට විරෝධය පළ කරමින් දිවයින පුරා නීතිඥවරු අද අධිකරණ කටයුතුවලින් ඉවත් වූ අතර ම, ප්‍රදේශ කිහිපයක නිහඩ විරෝධතා ද පැවැත්වුණා.
ඝාතනයට ලක්වූ නීතිඥ බුද්ධික මල්ලආවරච්චි සහ ඔහුගේ බිරිදගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ පිටිගලදී සිදුවූයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.
බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලක රථගාලේ නවතා තිබූ මෝටර් රථයක් තුළ දී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය 13 වැනිදායි.
මෙම ප්‍රහාරය සඳහා වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථය පෙරේදා රාත්‍රියේ බද්දේගම අගලිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගිනි ගනිමින් තිබියදී පොලිසිය සොයා ගත්තා.
මෙවන් පසුබිමක් තුළ එම ද්විත්ව ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් සිව් දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුනේ මෙම ඝාතනය සඳහා ගිනි අවි දෙක ලබාදුන් පුද්ගලයින් බවයි පැවසෙන්නේ.
මෝටර් රථ දෙකකින් පැමිණ මෙම ගිනි අවි සැකකරුවන් විසින්, මෙම ඝාතකයින්ට ලබාදී ඇති බව දැනට සිදු කළ පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබෙනවා.
මේ අතර, නීතිඥවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැඳවා තිබූ හදිසි මහ සභා රැස්වීමේදී නීතිඥයින් අද දින සියලු අධිකරණ කටයුතුවලින් ඉවත්විම ඇතුළු ක්‍රියාමාර්ග හතරක් ගනු ලැබුවා.
ඒ අනුව අද පෙරවරුවේ සිට දිවයින පුරා අධිකරණවල කැඳවනු ලැබූ නඩු කටයුතුවලින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිිතිඥයින් ඉවත්ව සිටියා.
මීට සමගාමීව දිවයිනේ සියලුම අධිකරණවල නීතිඥයින් මෙම ඝාතනට විරෝධය පළ කළා.
ඇතැම් ස්ථානවල විරෝධතා පා ගමන් මෙන්ම නිහඩ විරෝධතා ද දක්නට ලැබුණා.
මීට අමතරව ඇතැම් අධිකරණ ප්‍රරිශ්‍රවල මෙන්ම නීතිඥවරුගේ කාර්යාල වල ද කළු කොඩි ඔසවා තිබුණා. මේ හේතුවෙන් අද දිනයේ අධිකරණ කටයුතු සඳහා පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියා. කෙසේ වෙතත් ඝාතනයට විරෝධය පළ කරමින් කොළඹ අලුතක්කඩේ උසාවිය අසල ඔසවා තිබූ කළු කොඩි අද පෙරවරුවේ කිසියම් පිරිසක් ඉවත් කර තිබූ බවටද නීතඥයින් පිරිසක් චෝදනා එල්ල කළා.
මේ අතර තලංගම, අකුරේගොඩදී ඝාතනය වූ නීතිඥ බුද්ධික මල්ලආවරච්චි සහ ඔහුගේ බිරිදගේ දේහයන් ඊයේ පෙරවරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කර තිබුණා.
අනතුරුව එම දේහයන් රැගෙන ආවේ පිටිගල පිහිටි ඔවුන්ගේ නිවස වෙතයි.
ආගමික වතාවත්වලින් අනතුරුව ඔවුන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු පිටිගල ගොඩාමුණ පවුලේ සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කරනු ලැබුවා.
මේ අතර, මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ මෙම ඝාතනය සිදුවූයේ නීතිඥයින් සහ පොලිස් නිලධාරියෙකු අතර ඇති වූ ආරවුලේ දී පොලිස්පතිවරයා පොලිස් නිලධාරීන්ට පක්ෂග්‍රහිව පියවර ගත් පසුබිමක බවයි.
මේ නිසා මෙම ඝාතන සිද්ධියෙන් පැය දෙකක් ඇතුළත පොලිස් පරීක්ෂණයකින් තොරවම මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපාරාධකරුවෙකු විසින් සිදුකරන ලද්දක් බවට පොලිසිය ප්‍රකාශ කළ බවද එක්සත් ජාතික පක්ෂය නිකුත් කල නිවේදනයේ දැක්වෙනවා.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම ඝාතන ඇතුළුව නීතිය හා සාමය පිරිහීමට වගකිවයුතු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.





