රුසියානු වෛද්‍යවරයෙකුට අයත් ඩොලර් 9900ක් සොරකම් කළ චීන ජාතිකයා කටුනායකදී අත්අඩංගුවට

ගුවන් යානයක් තුළදී රුසියානු වෛද්‍යවරයෙකුගේ අත්බෑගයක් තුළ තිබු අමෙරිකානු ඩොලර් 9900ක මුදලක් සොරාගත් චීන ජාතිකයෙකු කොටුව කැසිනෝ ශාලාවක් තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ චීන ජාතිකයා මෙම සොරකම සිදුකර ඇත්තේ ගුවන් යානය අබුඩාබි නුවර සිට කටුනායක බලා පියාසර කරමින් සිටින අතරතුරයි.

අදාල වෛද්‍යවරයා සිය ගමන් බෑගය ගුවන් යානයේ ගමන් මලු රාක්කයේ තබා තිබියදී මෙම චීන ජාතිකයා විසින් මෙම සොරකම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමෙන් අනතුරුව වෛද්‍යවරයා තම බෑගයෙහි තිබූ මුදල් අඩු බව වටහා ගැනීමෙන් පසු, ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව, වහා ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය, ගුවන් තොටුපළේ ආරක්ෂක කැමරා පද්ධති පරික්ෂා කර එම ගුවන් යානයේ පැමිණි එකම චීන ජාතිකයා වූ සැකකරු CCTV මග හරිමින් ගුවන් තොටුපොළෙන් පිටතට ගමන් කර ගුවන් තොටුපොළ කුලී රථයක නැගී පලා යන අන්දම නිරීක්ෂණය කර තිබෙනවා.
පසුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ගුවන් තොටුපොළ කුලී රථ සේවා කවුන්ටරයෙන් තොරතුරු ලබාගෙන අදාළ කුළී රථයේ ගමනාන්තය වූ කොළඹ කොටුව කැසිනෝ ශාලාවක් වෙත ගොස් එහි ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කර මෙම චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.
ඒ වන විටත් චීන ජාතික සැකකරු සොරකම් කළ මුදලින් ඇමෙරිකානු ඩොලර් 4,000ක මුදලක් කැසිනෝ සඳහා වැය කර තිබූ අතර ඉතිරිව තිබූ ඇමෙරිකානු ඩොලර් 5,900ක මුදල සැකකරු සමඟ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් 49 හැවිරිදි චීන ජාතික සැකකරු ඊයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී සැකකරු මෙම මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා

Share