ඉරාන යෝජනා ගැන ට්‍රම්ප් නොසතුටින්

ඉරාන – අමරිකානු යුද්ධය අවසන් කිරීම සඳහා වන නවතම යෝජනාව පාකිස්තාන මැදිහත්කරුවන් මාර්ගයෙන් අමෙරිකා එක්සත් ජනපදය වෙත ඉරානය යොමු කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ යෝජනා සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ නවතම සාකච්ඡා යෝජනා පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බවයි

යුද්ධය අවසන් කිරීම සඳහා වන ඉරානයේ නවතම යෝජනාව පාකිස්තාන මැදිහත්කරුවන් මාර්ගයෙන් අමෙරිකා එක්සත් ජනපදය වෙත යවා ඇති බව ඉරානය සදහන් කරනවා.
මෙම යෝජනා මාලාව ප්‍රධාන කරුනු 10කින් යුත් සමන්විතයි.
ඒ යෝජනා අතරට සියලුම ජාත්‍යන්තර සම්බාධක වහාම ඉවත් කිරීම සහ අත්හිටුවා ඇති ඉරාන වත්කම් නිදහස් කිරීම ද ඇතුලත්
ඊට අමතරව හමුදා ඉවත් කර ගැනීම යටතේ, කලාපයේ පිහිටි සියලුම අමෙරිකානු හමුදා කඳවුරු ඉවත් කර ගත යුතු බවට ඉරානය කොන්දේසියක් පනවා තිබෙනවා.
තවද යුද්ධයෙන් සිදු වූ හානි වෙනුවෙන් ඉරානයට වන්දි ගෙවිය යුතු බවද එම යෝජනාවලට ඇතුලත්
න්‍යෂ්ටික සාකච්ඡා පසුවට කල් තබා ප්‍රථමයෙන් සමුද්‍රීය ආරක්ෂාව සහ වෙළඳාම පිළිබඳ එකඟතාවයකට පැමිණිය යුතු බවයි ඉරානය සදහන් කර තිබෙන්නේ.

දෙරට අතර සටන් විරාමයක් සඳහා අප්‍රේල් 8 වැනිදා එකඟතාවයකට පැමිණි නමුත්, වඩාත් ස්ථිර සාමය පිළිබඳ ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ අතර යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය විසින් ඉදිරිපත් කරන ලද නවතම සාකච්ඡා යෝජනාව පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ජනාධිපතිවරයා පවසන්නේ සාම ගිවිසුමක් වෙත ළඟාවීම සඳහා ඉරානය යම් ප්‍රගතියක් පෙන්වා ඇතත් ඔවුන් කවදා එම ඉලක්කය වෙත ළඟා වේදැයි තමන්ට විශ්වාස නොමැති බවයි.

කෙසේ වෙතත් පාකිස්තානයේදී පැවැත්වීමට යෝජිත සෘජු සාකච්ඡා වාරයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමන් පාකිස්තානයට සහ එහි නායකයින්ට දැඩි ගෞරවයක් දක්වන බවයි.

ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් අතර ඇතිව තිබෙන මත ගැටුම මධ්‍යයේ, ජර්මනියේ සිටින හමුදා භටයින් 5,000ක් ඉවත් කර ගැනීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි මාස 6ත් 12ත් අතර කාලයේදී ජර්මනියේ සිටින හමුදා භටයින් ඉවත් කර ගැනීමට නියමිතයි.
ඊට අමතරව ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන්ද අමෙරිකානු හමුදා සෙබළු ඉවත්කර ගැනීමටද ට්‍රම්ප් යෝජනා කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

හෝමූස් සමුද්‍ර සන්ධිය අත්පත්කරගැනීමේ මෙහෙයුම්වලට නේටෝ සංවිධානය සහයෝගය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි ට්‍රම්ප් මිත්‍ර පාක්ෂිකයින්ට සිය දැඩි අප්‍රසාදය පළකරමින් මෙම තීරණය ගැනිමට සූදානම් වන්නේ.

මේ අතර යුරෝපා සංගමයෙන් ආනයනය කරනු ලබන මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා අය කරන බදු සියයට 25ක් දක්වා ඉහළ නැංවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මෙම නව බදු ප්‍රතිපත්තිය 2026 මැයි පළමු සතියේ සිට බලාත්මක වීමට නියමිතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජනාධිාපතිවරයා සිය සමාජ මාධ්‍යයේ සටහන් කර ඇත්තේ “ලබන සතියේ සිට යුරෝපා සංගමයේ මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා අය කරන බදු වැඩි කරන බව මම සතුටින් ප්‍රකාශ කරමි,” යනුවෙන්

කෙසේ වෙතත් අමෙරිකාව තුළම නිෂ්පාදනය කරන ලද යුරෝපීය සමාගම්වල වාහන සඳහා මෙම 25% බද්ද අදාළ නොවන බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉරානයේ වයඹ දිග සන්ජාන් පළාතේ සිදු වූ බෝම්බ පිපිරීමකින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ සාමාජිකයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අනතුර සිදු වී ඇත්තේ ක්‍රියාත්මක නොවූ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් අතරතුරදී බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
එමෙන්ම, පිපිරීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව ඉරානයේ ‘ෆාර්ස්’ පුවත් ඒජන්සිය ද වාර්තා කරනවා.

මියගිය පිරිස ක්‍රියාත්මක නොවූ පතොරම් සහ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පුහුණු කරන ලද විශේෂ ඒකකයකට අයත් නිලධාරීන් බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

මේ අතර, ඊයේ පැවති සන්නද්ධ සේවා කමිටු සභා රැස්වීමේදී, කැලිෆෝනියා නියෝජිත සාරා ජේකබ්ස් විසින් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරිමත් සමග එම කමිටු සැසිය උණුසුම් වුණා.
එහිදී ඇය ප්‍රශ්න කර සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කිරීමට තරම් ඔහුට”මානසිකව ස්ථාවර භාවයක්” පවතිනවා ද යන්නයි.
එම ප්‍රශ්න කිරිමට හේතුව ලෙස ඇය ප්‍රකාශ කලේ ට්‍රම්ප් විසින් Truth Social ජාලයේ පළ කරන ලද ආන්දෝලනාත්මක සටහන් සහ ඔහුගේ හැසිරීම් බවද කියා සිටියා.
මෙම දැඩි උණුසුම් ප්‍රශ්න කිරිමට පීට් හෙග්සෙත්ගේ ගේ පිළිතුරු වුයේ මෙම ප්‍රශ්නයට සෘජු පිළිතුරක් ලබා දීමෙන් තමා වැළකී සිටින බවයි.
ඒ වෙනුවට ඔහු හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ මානසික තත්ත්වය ගැන මීට පෙර මෙවැනි ප්‍රශ්න ඇසුවේ දැයි පෙරළා ප්‍රශ්න කර සිටියා.

පීට් හෙග්සෙත් විසින් ට්‍රම්ප් පිළිබඳ ප්‍රකෝපකාරි සහ උණුසුම් පිලිතුරක් ඇයට ලබා දෙමින් කියා සිටියේ ට්‍රම්ප් යනු පරම්පරා ගණනාවකින් දුටු “තියුණුම සහ තීක්ෂ්ණ බුද්ධිය සහිත” ප්‍රධාන අණ දෙන නිලධාරියා බවයි.

සාරා ජේකබ්ස් එහි දී ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශ මෙලෙස ඉදිරිපත් කළා
ඉරානය තම ඉල්ලීම් ඉටු නොකළහොත් “සම්පූර්ණ ශිෂ්ටාචාරයක් අද රාත්‍රියේ විනාශ වනු ඇත” යනුවෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශය, ආන්දෝලනාත්මක AI පින්තූර හරහා ට්‍රම්ප් විසින් තමන්ව ජේසුස් වහන්සේට සමාන කරමින් සහ සුවපත් කරන්නෙකු ලෙස පෙනී සිටින ප්‍රචාරයන් සමාජ මාධ්‍යවල පළ කිරීම, සේම තම දරුවන් සහ ආදරණීයයන් යුද බිමට යවන මවුපියන් තම නායකයාගේ තීරණ ගැනීමේ හැකියාව පිළිබඳව දැඩි බියකින් පසුවන බවත් ඇය අවධාරණය කළා.
පීට් හෙග්සෙත්ගේ ඊට ප්‍රතිචාරය වුයේ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
“ඔබ වසර හතරක් තිස්සේ ජෝ බයිඩන්ගෙන් මේ ප්‍රශ්නය ඇසුවාද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කර සිටියා
එහිදී සාරා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමා ප්‍රශ්න කරන්නේ වර්තමානය සම්බන්ධයෙන් පමණක් බවත්, මේ වන විට අන දෙන නිලධාරියා ජෝ බයිඩන් නොවන බවත්ය
එහිදී හෙග්සෙත් ප්‍රධාන අණ දෙන නිලධාරියා ගැන මෙවැනි ප්‍රශ්න ඇසීම අගෞරවයක් බවත්, තමන් එවැනි මට්ටමක සාකච්ඡාවකට සම්බන්ධ නොවන බවත් ප්‍රකාශ කලා
එහි දි සාරා ජේකබ්ස් යුද්ධයේ අසාර්ථකත්වයන් පෙන්වා දෙමින් කියා සිටියේ ඇමරිකානු සෙබළුන් 13 දෙනෙකු මියගොස් 380 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
එය ජයග්‍රහණයක් ලෙස සලකන්නේ දැයි ඇය ප්‍රශ්න කළා.
යුද්ධය වෙනුවෙන් ඩොලර් බිලියන ගණනක් වැය කර ඇති බවද කියා සිටියා.
“ඔබ සිතන්නේ මෙය ජයග්‍රහණයක් කියා නම්, ප්‍රශ්න කළ යුත්තේ ඔබගේ මානසික ස්ථාවරභාවයයි යනුවෙන් ද ඇය හෙග්සෙත්ට සෘජුව ප්‍රකාශ කළා

Share