ලෝක කම්කරු දිනයට සමගාමීව කොළඹ නගරයේ මැයි රැළි සහ සැමරුම් 12ක් පැවත්වීමට තීරණය කරයි

හෙටට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව කොළඹ නගරයේ මැයි රැළි සහ සැමරුරම් 12ක් පැවැත්වෙන බව පොලිසිය පවසනවා.
ජාතික ජනබලවේගය දිස්ත්‍රික්ක 21ක මැයි රැළි පවත්වන අතර නුවරඑළියේ සහ මහරගම පැවැත්වෙන මැයි රැළි සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගී වීමට නියමිතයි.
සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සර්වජන බලය කොළඹ දී මැයි රැළි සංවිධාන කර තිබෙනවා.
මැයි රැලි හා පෙලපාලි පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව හෙට දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාවට නංවන බව පොලිස් මූලස්ථානය නිවේදනය කළා.

හෙටට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සහ වෘත්තීය සමිති දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි රැළි, පෙළපාලි සහ වෙනත් සැමරුම් සංවිධාන කර තිබෙනවා.
මෙවරද වැඩිම මැයි රැලි ප්‍රමාණයක් පැවැත්වෙන්නේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින්.
හෙට පුර පසලොස්වක පොහොය දිනයක් යෙදී තිබීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි රැළි පැවැත්වීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙනවා.
හිටපු කම්කරු අමාත්‍ය ටී.බී ඉලංගරත්න ගුණ සමරුව හා පුෂ්පෝපහාර දැක්වීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිර පිවිසුමේ පිළිරුව අභියස දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කර තිබෙනවා.
ආණ්ඩු බලය හොබවන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය දිවයින පුරා සංවිධාන කර ඇති මැයි රැලි ගණන 21ක්.

මහරගම නගරයේ පස්වරු ආරම්භ වන පක්ෂයේ ජන රැලියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එක්වීමට නියමිතයි.
මැයි පෙලපාලිය පස්වරු 03ට පමණ දෙල්කඳ හන්දියෙන් ආරම්භ කිරිමට නියමිතයි.
නුවරඑළියේ පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මැයි රැලියට ද ජනාධිපතිවරයා එක්වනු ඇති.

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ මැයි රැළිය මාලිගාවත්ත පී. ඩී . සිරිසේන ක්‍රීඩාංගනයේ දී හෙට පස්වරුවේ පැවැත්වෙනවා.
කෙසේ වෙතත් ඔවුන් මෙවර මැයි පෙළපාලියක් පැවැත්වෙන්නේ නැහැ.

සර්වජන බලය මැයි රැළිය තිඹිරිගස්සාය හෙන්ද්‍රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය මෙවර පැවැත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේ දී.

මැයි රැලි හේතුවෙන් කොළඹ නගරය තුළ හෙට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසනවා.
මැයි දින උත්සව සහ සැමරුම් සාමකාමී ලෙස පැවැත්වීමට සුදුසු පරිසරයක් සකස් කිරීම හා එහි ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලස්ම මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සදහන්.
මැයි රැලි පැවැත්වෙන ස්ථාන ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

Share