විදුලි බිල නැංවීමට යෝජනාවක්

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ අරමුණින් යුතුව, සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව ජාතික පද්ධති පාලන පෞද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම මෙම තීරණයට මූලික හේතුවයි.
මේ අතර සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය ලබන 9 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළා.

ලෝක වෙළද පොලේ ඉන්ධන මිල ඉහල යාම හේතුවෙන් 2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සදහා විදුලි ජනනයට අදාල සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම 2026 අප්‍රේල් 27 වැනිදා ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පිරිවැය ඇස්තමේන්තුව පදනම් කරගෙන ක්‍රියාවට නැගීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද සිට මහජන උපදේශනයක් පැවත්වීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කළා.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාල උපදේශන පත්‍රිකාවට
• රුපියල් බිලියන 15ක රජයේ සහනාධාරය මැයි 10 සිට විදුලි පාරිභෝගිකයින්ට ලබා දීම
• ගෘහස්ත සහ ආගමික සිද්ධස්ථාන ඇතුළු විදුලි පාරිභෝගිකයින් සියයට 95කට රජයේ සහනාධාරය මත ගාස්තු ඉහල නොදැමීමට නිර්දේශ
• පොදු කාර්ය, රාජ්‍ය ආයතන හා සංචාරක හෝටල් යන කාණ්ඩවල මාසික පරිභෝජනය ඒකක 180ට වඩා අඩු අනු කාණ්ඩ සදහා ද ගාස්තුව ඉහල නොදැමීමට නිර්දේශ
• කර්මාන්ත අංශයේ පළමු අනුකාණ්ඩය සදහාද විදුලි ගාස්තු ඉහල නොදැමීමට නිර්දේශ
• ගල් අගුරු තත්වය හේතුවෙන් සිදුවන අතිරික්ත පිරිවැය විදුලි ගාස්තු වලට ඇතුළත් නොකිරීම තවදුරටත් තහුවරු කිරීමේ පියවර
යන කරුණු අන්තර්ගත වන බව කොමිෂන් සභාව පවසනවා.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සදහා විදුලි ජනන පිරිවැය ඉහල යාම හේතුවෙන් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට රුපියල් බිලියන 38ක හිගයක් ඇතිවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඇස්තමේන්තුවයි.
මෙම හිගය තුළ ගල් අගුරු තත්වය හේතුවෙන් විදුලි ජනනය සදහා බලපෑ අතිරේක වියදම් අඩංගු නොව බව කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
සමස්ත හිගයෙන් රුපියල් බිලියන 15ක් සහනාධාර වශයෙන් ලබා දීමේ රජයේ තීරණය මහ භාණ්ඩාගාරය විසින් දැනටමත් දන්වා ඇතැයි ද කොමිෂන් සභාව පවසනවා.
නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම ඉදිරිපත් කල විදුලි ජනන පිරිවැය ඇස්තමේන්තු සමාලෝචනය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව විසින් සකස්කල විදුලි ගාස්තු සංශෝධන උපදේශන පත්‍රිකාව අද දින ප්‍රකාශයට පත්කෙරෙන අතර එම උපදේශන පත්‍රිකාව පරිශීලනය කර සියළුම පාර්ශ්වයන්ට මැයි 6 වැනිදා දක්වා අදහස් හා යෝජනා ඉදිරිපත් කල හැකි බව කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඉදිරිපත් වන අදහස් හා යෝජනා සැළකිල්ලට ගෙන ඉදිරි විදුලි ගාස්තු පිළබද අවසන් තීරණය 2026 මැයි 9 වන දින ප්‍රකාශයට පත්කිරීම සදහා කොමිෂන් සභාව තීරණය කර ඇතැයි ද අදාළ නිවේදනයේ සදහන්.
මේ අතර විදුලි ගාස්තු ඉහළ නැංවීමේ ඉල්ලීම සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති ඇතුලු පාර්ශ්ව රැසක් විරෝධය පල කරනවා.

Share