කිර්ගිස්තානයේ පැවත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ චීන ආරක්ෂක අමාත්‍ය ඩොං ජුන් හමුවුණා.
අමාත්‍යවරුන් කලාපීය සහ ගෝලීය ආරක්ෂක තත්ත්වය සහ බටහිර ආසියාවේ වර්ධනයන් පිළිබඳ අදහස් බෙදා ගත් බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවා.
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් සභිකයින් 70 කට වැඩි පිරිසක් චීන මෝටර් රථ නිෂ්පාදකයින්ට එක්සත් ජනපදය තුළ මෝටර් රථ තැනීමට හෝ විකිණීමට අවසර නොදෙන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ගෝලීය ආධිපත්‍යය සඳහා අදහස් කරන උපායමාර්ගික තරඟකරුවෙකුට ඇමරිකානු මෝටර් රථ කර්මාන්තය භාර නොදිය යුතු බව ඩිමොක්‍රටික් සභිකයින් යොමු කළ ලිපියේ සඳහන්.
චීන මෝටර් රථ නිෂ්පාදකයින්ට කිසිදු ධාරිතාවයකින් එක්සත් ජනපද වෙළඳපොළට ඇතුළු වීමට අවසර නොදෙන බව සහතික කිරීම සඳහා පැහැදිලි සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙස එමගින් ඉල්ලා තිබෙනවා.
ඇමරිකානු හිමිකරුවන් පිළිබඳ සංවේදී දත්ත රැස් කිරීමට වාහනවලට ඇති හැකියාව හා සම්බන්ධ ජාතික ආරක්ෂක ගැටළු උපුටා දක්වමින්, බයිඩන් පරිපාලනය 2025 ජනවාරි මාසයේදී චීන මෝටර් රථ නිෂ්පාදකයින්ට එක්සත් ජනපදයේ මගී වාහන විකිණීම ඵලදායී තහනම් කරන පුළුල් රෙගුලාසි පැනවූවා.
ට්‍රම්ප් ලබන මාසයේ චීන ජනාධිපති ෂී ජින්පිං හමුවීමට නියමිතයි.





