අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවයි

ගෝලීය අර්බුදකාරී වාතාවරණයක් තුළ වුව ද අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව අප්‍රේල් මාසයේ දින 26ක් තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයියන් සංඛ්‍යාව එක්ලක්ෂ 17, 893ක්.

මැදපෙරදිග යුද්ධයත් සමග ගෝලීය ගුවන් ගමන්වලට එල්ල වූ දැඩි බලපෑම් හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සීඝ්‍ර අඩුවීමක් මාර්තු මාසයේ සිට දක්නට ලැබෙනවා.
යුරෝපීය සංචාරකයින් සඳහා වන මැදපෙරදිග ගුවන් කේන්ද්‍රස්ථාන ප්‍රහාරයට ලක් වීම ඊට එක් හේතුවක් වන අතර ඉන්ධන මිල හා අනුරූපීව ගුවන් ප්‍රවේශපත්‍ර මිල ඉහළ යෑම ද සංචාරක කර්මාන්තයට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්.
එවන් පසුබිමක වුවද අප්‍රේල් මාසයේ මේ දක්වා සංචාරකයින් එක්ලක්ෂ 17,893 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ යාවත්කාලීන කරන ලද දත්ත පෙන්වා දෙනවා.
වසර පුරාම ප්‍රවණතාව ඒ ආකාරයෙන්ම පෙන්නුම් කරමින් අප්‍රේල් මාසයේ දීත් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.
29192 දෙදෙනෙක් වන එම සංඛ්‍යාව සමස්ත පැමිණීම්වලින් තුනෙන් එකක්.
ඊට අමතරව එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, චීනය සහ රුසියාව මාසයේ වැඩිම සංචාරකයින් පැමිණි රටවල් පහ අතරට අයත්.
කෙසේ වෙතත් පසුගිය වසරේ අනුරූප කාලයට සාපේක්ෂව සංචාරකයින් පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන අතර 2025 අප්‍රේල් මාසය තුළ සංචාරකයින් 174,608 දෙනෙක් මෙරටට පැමිණ තිබුණා.
එම වසරේ දී දෛනකි සංචාරකයින්ගේ පැමිණීමේ සාමාන්‍යය 5800කට වැඩි වූ නමුත් මේ වසරේ අප්‍රේල් මාසයේ මේ දක්වා සංචාරකයින් 5000ක් ඉක්මවා පැමිණි දින සටහන් වන්නේ හයක් පමණයි.
වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 858,527 දෙනෙක්.
2025 වසරේ පළමු මාස 4 තුළ සංචාරකයින් 896,884 දෙනෙක් මෙරටට පැමිණ තිබුණා.
යුද තත්ත්වය ඇති වීමට පෙර, වසරේ පළමු මාස දෙකක කාලය තුළ, රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණයේ පෙර වසරට සාපේක්ෂව 12.9%ක වර්ධනයක් දක්නට ලැබුණා
එහෙත් ඉන් පසු කාලය තුළ සියයට 20කට වඩා අඩු වීමක් වාර්තා වනවා.
වසරේ පළමු කාර්තුවේ සංචාරක කර්මාන්තයේ ඉපැයීම් ඩොලර් 954.0ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මෙම අගයෙහි පෙර වසරට සාපේක්ෂව 15.0%ක අඩු වීමක්.
මාර්තු මාසය පමණක් සලකද්දී සංචාරක කර්මාන්තයේ ඉපැයීම් වල, පෙර වසරේ එම මාසයට සාපේක්ෂව, 36.8%ක අඩු වීමක් පෙන්නුම් කරනවා.
මෙය ඩොලර් මිලියන 130.3ක අඩු වීමක්.

Share