පසුගියදා පිලී පැනීමට ලක්වූ ‘‘සාගරිකා‘‘ දුම්රිය අද සිට යළි ධාවනය සඳහා එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත්, අමතර කොටස් නොමැතිවීම, දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු නොකිරීම සහ සංඥා ගැටලු ආදියට විසඳුමක් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇතැයි දුම්රිය ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඉන්දික දොඩම්ගොඩ මහතා චෝදනා කරනවා.
එසේම තාක්ෂණික අඩුපාඩු සහිත වේග සීමා මාපක නොමැති දුම්රිය ධාවනය නොකිරීමට සහ වේග සීමාවන් අනුකූලව පමණක් දුම්රිය ධාවනය කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
පසුගිය 24 වැනිදා බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වූ සාගරිකා දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානය අසල දී පිලීපැනීමට ලක් වුණා.
එම සිද්ධියට අදාළව එම දුම්රියේ රියදුරු, රියදුරු සහයක, නියාමක සහ උප නියාමකවරයාගේ රාජකාරි අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා.
අනතුරට ලක් වූ සාගරිකා දුම්රිය පසුගිය 25 වැනිදා යළි පීලිගත කර කොළඹ බලා ධාවනය කරමින් තිබිය දී කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදී යළි පීලිපැනීමට ලක්වුණා.
දුම්රිය පීලිපැනීමට ලක් වූ ස්ථානයේ මාර්ගය තවදුරටත් පිලිසකර කරමින් තිබෙනවා.
මෙවන් තත්ත්වයක් තුළ අද සිට සාගරික දුම්රිය යළි ධාවනයට එක් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
නමුත් දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ තාක්ෂණික ගැටලු රැසක් මැද දුම්රිය ධාවනය කිරීමට සිදුව ඇති බවයි.





