මැදපෙරදිගට සටන් විරාමයක්

අමෙරිකාව විසින් ඉරානයට ලබා දී තිබූ අවසන් නිවේදනය කල් පිරීමට සුලු වේලාවක් ඉතිරිව තිබිය දී ඉරානය සහ අමෙරිකාව සටන් විරාම ගිවිසුමකට එකඟ වී තිබෙනවා.
මෙහිදී දෙපාර්ශ්වය අතර ඇතිකරගත් ප්‍රධාන එකඟතාවය වන්නේ උපාය මාර්ගික වශයෙන් අතිශයින් වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නිදහස් නාවික ගමනාගමනයට යළි අවසර ලබා දීමයි.
ඒ අනුව දෙපාර්ශවයම සිදුකරණ බෝම්බ හෙලීම් සහ ප්‍රහාර අත්හිටුවීමට එකඟ වීමත් සමග මැදපෙරදිග ගිනිගත් සටන සති දෙකක කාලසීමාවක් සඳහා විරාමයකට එලැඹුනා.

මැදපෙරදිග අර්බුදයේ තීරණාත්මක හැරවුමක් සනිටුහන් කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය සති දෙකක සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.
පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ මැදිහත් වීමෙන් එළඹි එකඟතාවය අනුව සාම සාකච්ඡා ලබන සිකුරාදා ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිතයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කිරීමේ අවසන් කාලසීමාව ඉකුත් වීමට පැය දෙකකටත් අඩු කාලයක් තිබියදී ගත් තීරණයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද තියුණු ලෙස පහළ යමින් තිබෙනවා.

එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමයක් ඇති වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 4ට ප්‍රකාශ කළා.
ටෘත් සෝෂල් හි සටහනක් තබමින් ට්‍රම්ප් පැවසුවේ “ඉරානයට බෝම්බ හෙලීම සහ ප්‍රහාර එල්ල කිරීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට මම එකඟ වෙමි,” යනුවෙනි.
මෙය ද්විපාර්ශවීය සටන් විරාමයක් වනු ඇතැයි ද එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසුවා.
ට්‍රම්ප්ගේ සටහනේ වැඩිදුරටත් දැක්වුණේ “හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණ, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරාන ඉස්ලාමීය ජනරජය එකඟ වුවහොත්” සති දෙකක සටන් විරාමයට එකඟ වන බවයි.
ඇමරිකාව අපේක්ෂා කළ සියලුම මිලිටරි අරමුණු දැනටමත් සපුරා ඇතිවා පමණක් නොව, ඒවා අභිබවා යාමටද සමත්ව ඇති” බව සටහන් කළ ට්‍රම්ප් ඉරානය සමඟ ස්ථිර සාම ගිවිසුමකට එළඹීමට අවශ්‍ය පසුබිම මේ වන විටත් ඉතා සාර්ථක ලෙස සකස් වී ඇති බවද සඳහන් කර තිබුණා.
ට්‍රම්ප් සඳහන් කළේ ඉරානය ඇමරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට කරුණු දහයකින් යුත් සැලැස්මක් එවා ඇති බවයි.

එය “සාකච්ඡා කිරීමට ක්‍රියාත්මක කළ හැකි පදනමක්” බව ද ට්‍රම්ප් ටෲත් හි ලියා තිබුණා.

ඉන් මිනිත්තු 30කට පමණ පසු ඉරාන රජයේ නිල පුවත් සේවා වාර්තා කළේ “ඉරානය ඉදිරිපත් කළ කොන්දේසිවලට එකඟ වෙමින් ජනාධිපති ට්‍රම්ප් යුද්ධය අවසන් කිරීම සඳහා සති දෙකක සටන් විරාමයකට එකඟ වූ බවයි.”
එම මාධ්‍ය වාර්තා තවදුරටත් පෙන්වා දුන්නේ, මීට පැය කිහිපයකට පෙර ඉරානය විනාශ කරන බවට තර්ජනය කළ ට්‍රම්ප්, දැන් එම ප්‍රකාශවලින් “නින්දිත ලෙස පසුබැස” ඇති බවයි.
ඉරාන මාධ්‍ය කොන්දේසි 10 ද නිවේදනය කර තිබුණා.

  1. ඉරාකය, ලෙබනනය සහ යේමනයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් නැවැත්වීම.
  2. කාල සීමාවක් නොමැතිව ඉරානයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් සහ ස්ථිරව නැවැත්වීම.
  3. කලාපයේ සියලුම ගැටුම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීම.
  4. හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම.
  5. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතුවල නිදහස සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිල විධිමත් ක්‍රියාවලියක් සහ කොන්දේසි ස්ථාපිත කිරීම.
  6. ඉරානය ප්‍රතිසංස්කරණය සඳහා යන වියදම් පියවා ගැනීමට වන්දි ගෙවීම.
  7. ඉරානයට පනවා ඇති සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පූර්ණ කැපවීම.
  8. එක්සත් ජනපදය රඳවාගෙන ඇති ඉරාන අරමුදල් සහ වත්කම් නිදහස් කිරීම.
  9. කිසිදු න්‍යෂ්ටික අවියක් සන්තකයේ තබා නොගැනීමට ඉරානයේ සම්පූර්ණ සහතික වීම.
  10. මෙම කොන්දේසි අනුමත වූ වහාම සටන් විරාමය ක්‍රියාත්මක වේ.

ඉරානය නිවේදනය කළ කොන්දේසි 10යි.

ඉන් ටික වේලාවකට පසු ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි නිවේදනය කළේ “ඉරානයට එරෙහි ප්‍රහාර නතර කළහොත්” ඉරානය සටන් විරාමයකට එකඟ වන බවයි.
“සති දෙකක කාලයක් සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වනු ඇත” යනුවෙන් ද ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වුණා.

කෙසේ වෙතත් හෝමුස් ඔස්සේ ගමන් කිරීම “ඉරානයේ සන්නද්ධ හමුදා සමඟ සම්බන්ධීකරණයෙන් සහ තාක්ෂණික සීමාවන් නිසි ලෙස සලකා බැලීමෙන්” සිදුවනු ඇති බවද අරග්චි නිකුත් කළ නිවේදනයේ සඳහන්.

සටන් විරාමයේ මැදිහත්කරු වූ පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් X සටහනක් තබමින් පැවසුවේ සටන් විරාමය වහාම ක්‍රියාත්මක වන බවයි.

සියලු ගැටුම් සමථයකට පත් කිරීමේ තීරණාත්මක ගිවිසුමක් සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට” අප්‍රේල් 10 වන සිකුරාදා ඉස්ලාමාබාද් වෙත පැමිණෙන ලෙස පාකිස්තාන අග්‍රමාත්‍යවරයා දෙරටේ නියෝජිතයන්ට ආරාධනා කළා.

Share