ට්‍රම්ප්ගේ තර්ජනය

අද දිනය තුල ගිවිසුමකට එළඹීමට ඉරානය අපොහොසත් වන්නේ නම් ඉරාන රටම අතුරුදහන් කළ හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යලි අනතුරු අඟවනවා.

අඟහරුවාදා දිනය අවසන් වීමට පෙර පිළිගත හැකි ගිවිසුමක් තිබිය යුතු බවත්, එම ගිවිසුමට අනුව “නිදහසේ තෙල් ප්‍රවාහනය කළ හැකි බවත් පැවසූ ට්‍රම්ප්, ඉරානය “එක රාත්‍රියකින් අතුරුදහන් කිරීම සමහරවිට අඟහරුවාදා දිනය තුලම සිදුවිය හැකි බව ද පවසනවා.

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ලබාදී ඇති කාලය අවසන් වීමට ආසන්නව තිබියදී, කලාපීය මැදිහත්කරුවන් ඉදිරිපත්කරන ලද දින 45 ක සටන් විරාමයක් සඳහා වූ යෝජනාව ඉරානය විසින් ප්‍රතික්ෂේප කළ බවට පළවන වාර්තා මධ්‍යයේයි අමෙරිකානු ජනාධිපතිවරයා මෙම කෝපාන්විත අනතුරු ඇඟවුම නිකුත් කර ඇත්තේ.
කලාපීය මැදිහත්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද දින 45ක සටන් විරාම යෝජනාවට ඉරානයේ ප්‍රතිචාරය “වැදගත්” නමුත් “ප්‍රමාණවත් නොවන බවයි ට්‍රම්ප් පවසන්නේ.
මෙම දින 45 ක සටන් විරාමය සම්බනධයෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය පැවසුවේ යෝජනාවේ හෙළි නොකළ කරුණු 10 ක් අඩංගු වී ඇති අතරම ඉරානය ගැටුමට නිශ්චිත අවසානයක් අවශ්‍ය බව අවධාරනය කර ඇති බවයි.
ඒ අනුව නිශ්චිත අවසානයකින් තොරව ඒ් වෙනුවට ගෙන ආ “සටන් විරාමය ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔවුන් පවසනවා.
කෙසේ නමුත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ නවතම තර්ජනය සම්බනධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසන්නේ ට්‍රම්ප්ගේ තර්ජන “මායායවක්” බවත් කලාපය තුළ ඔවුන්ට සිදුවන “අපකීර්තිය සහ නින්දාව” සඳහා වන්දි ගෙවිය හැකි වෙනත් ක්‍රමයක් නොමැති බවත්ය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ කටම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ ප්‍රකාශක එබ්‍රහිම් සොල්ෆකාරි පැවසුවේ, “ට්‍රම්ප් මුහුණ දෙන අවහිරතාවයෙන් පැන නගින සහ අමෙරිකානු හමුදාව නැවත නැවතත් මුහුණදෙන පරාජයන් සාධාරණීකරණය කිරීම අරමුණු කරගත් මායාකාරී ජනාධිපතිවරයාගේ රළු වාචාලකම, අහංකාරය සහ පදනම් විරහිත තර්ජන” ඉරානය සටන් කිරීමෙන් වළක්වන්නේ නැති බවයි.
ඉරානයේ සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර නැවත නැවතත් සිදුවුවහොත්, අපගේ පළිගැනීමේ ප්‍රතිචාරය වඩාත් බලගතු ලෙස සහ වඩාත් පුළුල් පරිමාණයෙන් සිදු කරනු ඇති බවටත් ඔහු අනතුරු ඇඟවූවා.
මෙසේ මැදපෙරදිග යුද්ධයේ ආතතිය වේගයෙන් ඉහළ යමුන් තිබියදී ඊශ්‍රායලය ඊයේ ඉරානයේ දකුණු පාර්ස්හි පිහිටි ඉරානයේ ප්‍රධානතම ස්වාභාවික ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කර තිබුණා
ඒ් සමගම ඊශ්‍රායලය ඊයේ ඉරානයේ ෂිරාස් නගරය අසල පිහිටි විශාලතම ඛනිජ රසායනික සංකීර්ණයට ද පහර දුන් බවයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ.
මෙම නිෂ්පාදන පහසුකම විනාශ කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙතන්යාහු කියා සිටියේ තමන් ක්‍රමයෙන් විප්ලවවාදී ආරක්ෂකයින්ගේ මුදල් යන්ත්‍රය ක්‍රමානුකූලව ඉවත් කරමින් සිටින බවයි.
ඒ් සමගම ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා ඊයේ රාත්‍රිය පුරා ගල්ෆ් රටවල පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කර තිබුණා.
සඳුදා දිනය පුරා ඉරානය වෙත එල්ල වූ අමෙරිකා-ඊශ්‍රායල් ප්‍රහාරවලින් පුද්ගලයින් 34 දෙනෙකු මිය ගිය බවයි ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ
මේ අතර හිස්බුල්ලා සංවිධානය විසින් උතුරු ඊශ්‍රායලයට නවතම රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව එම සංවිධානය පවසනවා
ඔවුන් සමාජ මාධ්‍ය සටහනකින් කියා සිටියේ උතුරු ඊශ්‍රායලයේ මෙටුලා සහ කෆාර් යුවාල් නගරවලට රොකට් ප්‍රහාර දියත් කළ බවයි.
මේ අතර ඉකුත් සති අන්තයේ අමෙරිකානු ජනාධිපතිවරයා අසභ්‍ය වචන ද යොදා ගනිමින් ඉරානයට කළ තර්ජනය ඔහු ජනාධිපති ධුරය දැරීමට තවදුරටත් නුසුදුසු බව හඟවන ලකුණක් බවට අමෙරිකානු ඩිමොක්‍රටික් පාක්ෂිකයින් අවධාරණය කරනවා.
ඔවුන් එරට රිපබ්ලිකන් පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාගේ මානසික ත්ත්ත්වය තේරුම්ගෙන එකසත් ජනපද ව්‍යවස්ථාවේ 25 වැනි වගන්තිය ක්‍රියාත්මක කර ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට සහය දෙන ලෙසයි
මේ අතර ඉරානය අද ඊශ්‍රායලයේ හද බඳු ටෙල් අවීව් නගරය ඉලක්ක කර මෙතෙක් දියත් කළ වඩාත්ම විශාලතම මිසයිල ප්‍රහාරය දියත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

Share