NDB ලෙස කෙටි නාමයෙන් හඳුන්වන ජාතික සංවර්ධන බැංකුවේ අභ්‍යන්තර මූල්‍ය වංචාවෙන් සිදු වූ පාඩුව රුපියල් බිලියන 13.2ක් බවට දැනට අනාවරණ කර ගෙන තිබෙනවා.
වංචාව හේතුවෙන් ගනුදෙනුකරුවන්ගේ තැන්පතු හෝ ගිණුම් ශේෂයන්ට කිසිදු බලපෑමක් සිදුවී නොමැති අතර බැංකු කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ විය හැකි මූල්‍ය බලපෑම පිළිබඳ පූර්ව ඇගයීමක් සිදුකර ඇති බවයි.
NDB ලෙස කෙටි නාමයෙන් හඳුන්වන ජාතික සංවර්ධන බැංකුවේ සේවකයන් සම්බන්ධ අභ්‍යන්තර මූල්‍ය වංචාවක් පිළිබඳ පසුගිය සතියේ අනාවරණ වී තිබුණා.
මුලින් වංචාවේ ප්‍රමාණය රුපියල් මිලියන 380ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණද, වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වි ඇත්තේ එය බිලියන 13.2 ක් වන බවයි.
මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරන බැංකුව මෙම සිදුවීම හේතුවෙන් කිසිදු ගනුදෙනුකරුවකුගේ ගිණුම් ශේෂයන්ට බලපෑමක් සිදුව නොමැති බව අවධාරණය කරනවා.
සියලුම ගනුදෙනුකරුවන්ගේ ගිණුම් ශේෂයන් නොවෙනස්ව සහ සුරක්ෂිතව පවතින අතර බැංකුවේ සියලුම මෙහෙයුම් කටයුතු සහ සේවාවන් කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ලබන බවද අදාළ නිවේදනයේ සඳහන්.
සියලු මූල්‍ය වගකීම් ඉටු කිරීමට සහ ගනුදෙනුකරුවන්ට සහය වීමට තරම් ශක්තිමත් මූල්‍ය පදනමක් බැංකුව සතු බව ද ජාතික සංවර්ධන බැංකුව අවධාරණය කරනවා.
මෙම අක්‍රමිකතාව හඳුනාගත් වහාම ඒ සඳහා තීරණාත්මක පියවර ගනු ලැබූ බව පවසන . බැංකුව ඒ අනුව, මීට සම්බන්ධ යැයි සැක කෙරෙන සියලුම සේවකයින්ගේ සේවය අත්හිටුවා ඇති අතර, පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සියලුම වාර්තා සහ සාක්ෂි සුරක්ෂිත කිරීමට පියවර ගෙන ඇතැයි පවසනවා.
මෙම සිදුවීම හේතුවෙන් 2026 මාර්තු 31න් අවසන් කාර්තුව සඳහා බැංකුවේ විගණනය නොකළ බදු පසු අලාභය රුපියල් බිලියන 4.0ක පමණ වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.
මහ බැංකුවේ උපදෙස් මත, බැංකුවේ සැලසුම් කර තිබූ මුදල් ලාභාංශ ගෙවීම අත්හිටුවා ඇති අතර, අනවශ්‍ය වියදම් සීමා කරන ලෙස ද නියෝග කර තිබෙනවා.
තවදුරටත් මේ පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වන අතර, නිල නොවන තොරතුරු මත පදනම් නොවී බැංකුවේ නිල නිවේදන කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසයි බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ අදාළ වංචාව සම්බන්ධයෙන් ජාතික සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇති අතර ,එම තොරතුරු අනුව විය හැකි මූල්‍ය බලපෑම සම්බන්ධයෙන් පූර්ව ඇගයිමක් සිදු කර ඇති බවයි.
ඒ අනුව වාර්තා කළ අලාභය සළකා බැලීමේදී බැංකුවට තම ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා සහ ද්‍රවශීලතා සම්බන්ධ අනුපාත, අවම නියාමන අනුපාතවලට වඩා ඉහළින් පවත්වාගෙන යාමට හැකි බව මහබැංකුව පවසනවා.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ එම වංචාව මගින් සැළකියයුතු මට්ටමේ අලාභයක් සිදුවිය හැකි බවයි.
එහෙත් මේ තුළින් කිසිඳු ගණුදෙනුකරුවකුගේ බැංකු ගිණුමකට හෝ තැන්පතුවකට බලපෑමක් වී නැතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සුදුසු පියවර ගනු ඇති බවද එහි සඳහන්.




