ගෑස් පෙන්වන ගෑස්

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.

ලිට්‍රෝ කිලෝගෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 775 කින් සහ ලාෆ් රුපියල් 1070 කින් ඉහළ නංවනු ලැබුවා.

ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අප්‍රේල් සහ මැයි මාස සඳහා අඛණ්ඩ ගෑස් සැපයුමක් පවත්වාගෙන යෑමට අවශ්‍ය තොග පවතින බවයි.
වත්මන් ගෝලීය යුදමය තත්ත්වය තුළ ලෝක වෙළෙඳපොළේ LP ගෑස් මිල සීග්‍ර ලෙස ඉහළ යාම සහ ආනයනික වියදම් සැලකිය යුතු ලෙදස ඉහළ යාම හේතුවෙන් ගෘහස්ථ ගෑස් මිල වැඩි කරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව රුපියල් 3,990 ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 775කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රු. 4,765ක්.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 308කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රු. 1,910ක් වනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 140කින් ඉහළ නංවා තිබෙනවා.

එහි නව මිල රුපියල් 890ක්
සමාගම නිකූත් කළ නිවේදනයේ දැක්වුණේ අප්‍රේල් මාසය සඳහා දිවයින පුරා අඛණ්ඩ සැපයුමක් ලබා දිමට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම මැයි මාසය දක්වාද කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩ ගෑස් සැපයුමක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තොග පවතින බවද එම සමාගම පවසනවා.

ලාෆ් සමාගමද ඊ⁣යේ මධ්‍යම රාත්‍රියේ සිට ගැස් මිල ගණන් ඉහළ නැංවූවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1070කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 5,700ක්.

එමෙන්ම ලාෆ් කිලෝග්‍රෑම් 05 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 418කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2,280 ක් වනවා.

පසුගිය මාර්තු 10 වැනිද මෙම සමාගම් ද්විත්වයම ගෑස් මිල ඉහළ දැමූ අතර එහිදී 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 300කින් ඉහළ නැංවුණා.

ඒ අනුව මාසයක කාලයක් තුළ රුපියල් 1000කට වඩා වැඩි අගයකින් ගැස් මිල ඉහළ ගොස් තිබෙනවා.

Share