ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය වේගවත් කිරීමට ‘ශ්‍රී ලංකාව පිළිබඳ හවුල්කාරිත්ව රාමුව’ දියත් කරයි

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය වේගවත් කිරීම සහ මධ්‍ය කාලීනව 7%ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම අරමුණු කරමින් ශ්‍රී ලංකා රජය එක්ව ‘ශ්‍රී ලංකාව පිළිබඳ හවුල්කාරිත්ව රාමුව’ ලෝක බැංකුව දියත් කර තිබෙනවා.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ පෞද්ගලික අංශය කේන්ද්‍ර කරගත් රැකියා උත්පාදනය වර්ධනය කිරීම සහ ශක්තිමත්, තිරසාර ආර්ථිකයක් ගොඩනැගීමයි.

මෙම නව හවුල්කාරිත්වය යටතේ ඉදිරි වසර පහ තුළදී ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හරහා අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික සෘජු ආයෝජන සහ ලෝක බැංකුව හරහා අමෙරිකානු ඩොලර් බිලියනයක සහනදායී මූල්‍ය පහසුකම් ලබා දීමට නියමිතයි.

එමෙන්ම, පෞද්ගලික අංශයේ නවෝත්පාදන සහ තරගකාරීත්වය දිරිමත් කිරීම තුළින්, ඉදිරි දශකය තුළ රැකියා වෙළඳපොළට පිවිසෙන තරුණ තරුණියන් මිලියනයකට ගුණාත්මක රැකියා අවස්ථා සපයීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ ලෙස හඳුන්වා දී ⁣තිබෙනවා.

ලෝක බැංකුව නිවේදනය කළේ ඉදිරි දශකය තුළ තරුණ ශ්‍රී ලාංකිකයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් රැකියා වෙළඳපොළට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කරන බවයි

ඉන් 10කගෙන් හත් දොනකුට හොඳ රැකියා නොමැති වනු ඇති බවද එහි සඳහන්

ව්‍යාපාර කිරීම පහසු කිරීම, රජයේ රෙගුලාසි සරල කිරීම, වෙළඳ ක්‍රියාවලීන් නවීකරණය කිරීම සහ වැඩි රාජ්‍ය සේවාවන් ප්‍රමාණයක් මාර්ගගතව ගෙන ඒම යන ක්ෂේත්‍ර කෙරෙහි මෙමගින් අවධානය යොමු කරන අතර, ශ්‍රී ලංකාව ව්‍යාපාර කිරීමට සහ ආයෝජනය කිරීමට වඩාත් ආකර්ශනීය ස්ථානයක් බවට පත් කිරීම එහි අවසන් ඉලක්කයයි.

මෙම ප්‍රතිසංස්කරණ මගින් 2030 වන විට වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 36 දක්වා දෙගුණ කිරීමේ ශ්‍රී ලංකාවේ අභිලාෂයට සහාය වනු ඇති බව ලෝක බැංකුව පවසනවා.

එම අවස්ථාවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, සාර්ව ආර්ථික ස්ථාවරත්වය හා යහපාලන ප්‍රතිපත්ති මත පදනම්ව රට තිරසාර වර්ධනයක් කරා මෙහෙයවීම රජයේ ප්‍රධාන අරමුණ බවයි.

ලෝක බැංකුව සමඟ දශක ගණනාවක් පුරා පැවති සහයෝගිතාව මෙම ගමනට ශක්තියක් වන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

Share