අදත් ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

මේ දිනවල පවතින වියළි කාළගුණය හමුවේ ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් ඇතැම් ප්‍රදේශ වලට ජලය සීමා කරමින් බෙදා හැරීම හේතුවෙන් දෛනික වැඩ කටයුතු සිදු කරගැනීමේදී මහජනතාව පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.
ප්‍රදේශ රැසක ජනතාවට උග්‍ර ලෙස බලපා ඇති මෙම ගැටළුව, කිරිඳිවැල – නැදුන්ගොල්ල ගම්මානයේ පවුල් 115 ක පමණ ජනතාවට බලපා ඇත්තේ ඉතා උග්‍ර ලෙසයි.

මේ දොම්පෙ මැතිවරණය කොට්ඨාශයට අයත් කිරිඳිවැල – නැදුන්ගොල්ල ගම්මානයයි.
මෙම ගම්මානයේ පවුල් 115ක් පමන ජීවත් වන අතර පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ, ජලය නොමැති වී ඇත්තේ දැනට මාසයකට අධික කාලයක සිට බවයි වාර්තා වන්නේ.
පැපිලියවල සිට රදාවාන දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයක් අභියස පිහිටි මෙම ගම්මානයේ ජීවත්වන ජනතාව වෙනුවෙන් මීට වසර ගණනාවකට පෙර ඉදි කරන ලද ප්‍රජා ජල ව්‍යාපෘතියක් මගින් ජලය සැපයූ අතර, මේ වන විට ගමේ ජීවත් වන පවුල් සංඛ්‍යාව වැඩී වී තිබීමත්, එම ව්‍යාපෘතියට අයත් ලිදේ ජල මට්ටමද ඉතා පහල මට්ටමක පැවතීමත් හේතුවෙන් එමගින්ද නිවාස වලට ජලය සැපයීමට නොහැකි වී තිබෙනවා.
ගම්වැසියන් කිහිප දෙනෙකු පෞද්ගලිකව ලිං කපා තම ජල අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කර තිබුණද, පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය නිසා අඩි 50 ක පමණ ගැඹුරින් යුත් එම ලිං වල ජලයත් මේ දිනවල ලිං පතුලට පමණක් සීමා වී තිබෙනවා.
මෙම ගම්මානය දෙපස පිහිටි ගම්මාන දෙකට මීට වසර කිහිපයකට පෙර නල ජලය ලැබී ඇතත් මේ කොටසටද නල එලා ජලය ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් මේ දක්වා එම ඉල්ලීමද ඉටු වී නැහැ.
මීට මාස කිහිපයකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පවා මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇතත්, එයින් ද ඵලක් නොවූ බවයි ජනතාව පවසන්නේ .
එම ගම්වාසීන් ඉල්ලා සිටින්නේ තම ජල අවශ්‍යතාවයට ස්ථිර විසඳුමක් ලබා දෙන තෙක්, තමන් මුහුණ දී සිටින දුෂ්කර තත්ත්වය ගැන සලකා බවුසර් මගින් හෝ තමන්ට ජලය සැපයීමට බලධාරීන්ගේ අවධානය යොමු කරවන ලෙසයි.

මේ අතර දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට සිදුකෙරෙන ජල කප්පාදුව අදත් සිදු කෙරෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ පස්වරුවේ නිවේදනය කළේ පාරිභෝගික ඉල්ලීම් සලකා බලමින් සැලසුම්කරණ ලද ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 24 සිට පැය 18ක් දක්වා අඩුකිරීමට පියවර ගත් බවයි.
මෙම කාල සීමාව පැය 12ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇතත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ
ඒ අනුව අද රාත්‍රි 8 සිට හෙට පස්වරු 2 දක්වා පැලැන්වත්ත ප්‍රදේශයේ මත්තේගොඩ, බ්‍රාහ්මනගම, කිරිගම්පමුණුව, දිපංගොඩ, පොල්ගස්ඕවිට පාර ඇතුළු ප්‍රදේශ රැසකට මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.
මෙම ජල කප්පාදුව පාදුක්ක, හෝමාගම, පන්නිපිටිය සහ පැලැන්වත්ත ප්‍රදේශවලට දින තුනකට වරක් සිදුකරන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එමෙන්ම බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල ප්‍රදේශවලට දිනක් හැර දිනක් රාත්‍රී 10 සිට අලුයම 1 දක්වා පැය 3ක කාලයක් ජල සැපයුම අත්හිටුවෙනු ඇති.
කෙසේවෙතත්, ජල කප්පාදුව සිදුනොවන දිනවල අඛණ්ඩව ජල සැපයීමක් ලබාදීමට කටයුතු යොදා ඇති බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා

Share