ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හී ප්‍රමිතිය නගාසිටුවීම සහ ප්‍රතිසංවිධානය සඳහා විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා
එම කමිටු සාමාජිකයින් ඊයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවුණා.
මෙම කමිටු සාමාජිකයින් අග්‍රාමාත්‍යවරිය මුණගැසුනේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දීයි.
මෙමෙ සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ රජයේ අපේක්ෂිත අධ්‍යාපන පරිවර්තන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට හැකියාවකින් සහ නායකත්ව ගුණාංගයන්ගෙන් යුත් ගුරුවරුන් බිහි කරන පරිසරයක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ ගොඩනැගිය යුතු බවයි.
මෙම කමිටුවේ සභාපතිත්වය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති දරන අතර, සෙසු සාමාජිකයින් වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරෝෂා අදිකාරම්, යාපනය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය පූබාලසුන්දරම් අයින්ගරන්, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී.ඒ.ඩී. අනිල් යන මහත්ම මහත්මීන්.
මෙරට පාසල් පද්ධතියේ ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය ගුණාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය ගුරුවරුන් බිහි කරමින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අතිශය වැදගත් මෙහෙවරක් ඉටු කරන බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.
එබැවින් ඉහළ පෙළේ ගුරුවරුන් බිහි කරන ස්ථානයක් බවට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ අනාගතයේදී පත් කිරීම සඳහා ඒවායේ සමස්ත ආයතනික ව්‍යුහය ආවරණය වන පරිදි පුළුල් අධීක්ෂණ ක්‍රියාවලියක් මෙම පත් කරන ලද කමිටුව විසින් සිදු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා සිටියා.
තවද මේ සඳහා අවබෝධයක් ලබා ගැනීමට කමිටු සාමාජිකයින් විසින් සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් නිරීක්ෂණය කළ යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, එම නිරීක්ෂණ කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දීම ද සිදු කළා
සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරින් එක්වුණා.





