දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද දිනයේද ජල කප්පාදුවක් සිදු කෙරෙනවා.
කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල, ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.
මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් පහව යෑමට මෙම වැසි යම් බලපෑමක් කරන අතර ඊයේ පස්වරුවේ දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට වැසි ඇද හැලුනා.
කෙසේ වෙතත් දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද දිනයේ සිට ජල කප්පාදුවක් සිදු කෙරෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ නිකුත්කළ නිවේදනයට අනුව කලටුවාව සහ ලබුගම ජලාශවලින් ජලය සපයන පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය අවට ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට ඊයේ රාත්‍රී 8 සිට අද රාත්‍රී 8 දක්වා වන ජල කප්පාදුවක් මේ වන විට ක්‍රියාත්මකයි.
එමෙන්ම හෝමාගම ප්‍රදේශයට අද රාත්‍රී 8 සිට හෙට රාත්‍රී 8 දක්වා පැය 24ක කාලයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
තවද පැලැන්වත්ත ප්‍රදේශයට හෙට රාත්‍රී 8 සිට අප්‍රේල් 5 රාත්‍රී 8 දක්වා ජල කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම ජල කප්පාදුව එම ප්‍රදේශවලට දින තුනකට වරක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
කෙසේ නමුත් ජල කප්පාදුව සිදු නොවන දිනවල අඛණ්ඩව ජල සැපයීමක් ලබාදීමට කටයුතු යොදා ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට අප්‍රේල් 7 වනදා, හෝමාගමට අප්‍රේල් 8 වනදා සහ පැලැන්වත්තට අප්‍රේල් 9 වනදා යළිත් ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කළා.
මේ අතර පවතින කාලගුණික සහ දේශගුණික වෙනස්කම්, ඉදිරියේදී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය සහ යල කන්නයේ වී වගාව ආරම්භ වීමත් සමඟ සිදු කළ යුතු ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
ඉදිරි පුරෝකථනයන්ට අනුව මේ වසරේ ලැබිය හැකි වර්ෂාපතනය පිළිබඳවත්, එමෙන්ම දැනට ජලාශවල පවතින ජල ප්‍රමාණයන් පිළිබඳවත් මෙහිදී සංඛ්‍යා දත්ත මත පදනම්ව කරුණු සාකච්ඡා කෙරුණා.
විශේෂයෙන් බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ජල විදුලි නිෂ්පාදනය, පානීය ජල අවශ්‍යතා සැපිරීම මෙන්ම යල කන්නයේ වගාවන්ට අවශ්‍ය ජලය මුදා හැරීම යන කරුණු මත පදනම්ව අවශ්‍ය ජල කළමනාකරණය පිළිබඳව මෙහිදී අවධානය යොමු වුනා.





