රාජ්‍ය ආයතන 8ක් ගැන නීතිපති සහතිකය

ඉකුත් රජය සමයේ විකිණීමට තීරණය කර තිබූ රජය සතු ව්‍යාපාර 8ක් තවදුරටත් රජය සන්තකයේ තබා ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඊයේ දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය දැනුම් දුන්නේ ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම්, එයාර් ලංකා සමාගම, රක්ෂණ සමාගම් සහ ලංකා හොස්පිටල් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 8 ක් විකිණීමට ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බවයි.

ඉකුත් රජය සමයේ අදාල ආයතන විකිණීම ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ අචල වෙංගප්පුලි, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය දැනුම් දුන්නේ අදාළ තීරණය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බවයි.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ එම සමාගම් විකිනීම වෙනුවට ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බවයි.
අදාල පෙත්සමේ වග උත්තරකරු වශයෙන් ඉකුත් රජයේ අමාත්‍ය මණ්ඩලය සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කර තිබෙනවා.
එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥ කනිෂ්ක විතාරණ, අදාල රාජ්‍ය ආයතන විකිණීම සඳහා රජය ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව දැනුම් දීම නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බව සඳහන් කළා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කළා.

Share