කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ෂමීන්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක යනට අධිකරණය අද විවෘත වරෙන්තු නිකුත් කළා.

දැනට විදෙස්ගතව සිටින බව කියන ෂමීන්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රියංකා නියෝමාලී විජේනායක ප්‍රකාශ සටහන් කර ගැනීමට කැඳවා තිබුණ ද ඔවුන් මේ දක්වා නොපැමිණීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුව පසුගිය නඩු වාරයේ දී ඉල්ලීමක් කරනු ලැබුවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා එම ඉල්ලීමට අදාළ තීරණය අද ප්‍රකාශයට පත් කරමින් සැකකරුවන්ට විවෘත වරෙන්තු නිකුත් කළා.
මෙම නියෝගය ශ්‍රී ලංකාවේ සියලු ගුවන් තොටුපළවල් වෙත යැවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ආගමන හා විගමන පාලකට නියෝග කළේ සැකකරුවන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට දැනුම් දෙන ලෙසයි.
අදාළ වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මේ අතර නඩුකරය කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නඩුකරයට අදාළ ලේඛනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය වී ඇති බවත් ඒ පිළිබඳ විමර්ශනය කළ යුතු බවත් පැවසුවා.
එම ලේඛනය පල වී තිබෙන්නේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර දැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළ අතර කොමිසමේ නිලධාරියාා පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය වූ ලේඛනයේ අධිකරණයේ මුද්‍රාව නොමැති නම් එය තම අධිකරණයට අදාළ නොවන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.
දැනට රක්ෂිත බන්ධානාගරගත කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සම්බන්ධයෙන් අදත් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණා.
ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න
” ස්වාමීනී… මේ නඩුවේ විමර්ශන කටයුතු ආරම්භ වුණේ 2020 වසරේ. අවුරුදු හයක් විමර්ශන සිදු කරලා තිබෙනවා. අල්ලස් කොමිසම කියන්නේ සැකකරුව රිමාන්ඩ් කරන්න කියලා විතරයි. රිමාන්ඩ් කළ යුත්තේ ඇයි කියලා ඔවුන් කරුණු පැහැදිලි කරන්නේ නෑ. මේ සැකකරුට ඇප දීමෙන් සිදුවන අගතියත් ඔවුන් පැහැදිලි කරන්නේ නෑ. මේ සැකකරුගේ බිරිඳ දැන් ඔහුගෙන් වෙන්වෙලා තමයි ජීවත්වන්නේ. ඇය සිටින්නේ ඔස්ට්‍රේලියාවේ. ඉතින් ඇය අධිකරණයට ඉදිරිපත් වනතුරු මේ සැකකරු රිමාන්ඩ් භාරයේ තැබීම සුදුසු නැහැ. ඒ නිසා ඔහු ඇප මත මුදා හරින්න.’’
එම ඉල්ලීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සාකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය දැඩි විරෝධය පළ කළා.
“ස්වාමීනි… මේ සැකකරුගේ නීතිඥවරයා සඳහන් කළා ඔහු ඔහුගේ බිරිඳගෙන් වෙන්ව ජීවත් වන බවට. ඒක පිළිගන්න බැහැ ස්වාමීනී. මොවුන් විදේශ තහනම ඉවත් කර ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළේ එකටයි. ඒ වගේම දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තකට බව කියමින් තමයි මොවුන් විදේශගත වුණේ. මේ සිද්ධියට අදාලව අල්ලස් වශයෙන් ලබාගත මුදල් ලබාදුන් පුද්ගලයින්ගේ නම් මේ සැකකරු විසින් අනාවරණය කර තිබෙනවා. ඒ නිසා ඇප ලබා දුනහොත් ඔහුට තර්ජනයක් ඇතිවෙන්න පුළුවන්. ඒක යුක්තිය ඉටු කිරීමට විශාල බාධාවක්. “
ඉන්පසුව නඩුවේ දෙවන සැකකාරිය වශයෙන් නම්කර සිටින කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායිකාව ඔස්ට්‍රේලියනු පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවත් ඇය ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි බවත් සඳහන් කළා.
නීතිඥයා අධිකරණය හමුවේ පැවසුවේ මෙම විමර්ශනයට අදාළව මාධ්‍යවලින් පළ වී තිබෙන තොරතුරු දැක ඇය භීතියට පත්ව සිටින බවයි.
එම නිසා ඇය වෙනුවෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සියලු පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ අද දින ඇප ඉල්ලීම සඳහා ඉදිරිපත් වූ කරුණු පිරික්සීමේ දී සුවිශේෂී කරුණක් වශයෙන් අනාවරණය වී ඇත්තේ 2020 වසරේ මෙම විමර්ශනය ආරම්භ වීම පමණක් බවයි.
ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු ලබන 17 වනදා දක්වා රිමාන්ඞ් භාරයේ තැබීමටයි.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරමින් සැකකාර කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ විදේශගත වුණේ කවදාද? පිටත්වූ රට කුමක්ද? ටිකට් පත් ලබා ගත්තේ කෙසේද? විදේශගත වුණේ එක්වද? වෙන් වෙන්වද? ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.

Share