වසරේ දෙවැනි කාර්තුව සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
මෙම කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටියේ සියයට 13.56%ක විදුලි ගාස්තු වැඩි කිරීමක්.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා 13.56%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යෝජනාවලියක් ඉදිරිපත් කෙරුණේ පසුගිය පෙබරවාරි 15 වැනිදායි.
අප්‍රේල් 01 වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා කාල සීමාවට අදාළව මෙම ගාස්තු වැඩි කිරීම ඉල්ලා තිබුණා.
අදාළ යෝජනාවලිය සමාලෝචනය කළ මහජන උපයෝගීතා කොමිසම මේ සම්බන්ධයෙන් මහජන උපදේශනයක් ද පැවැත්වුවා.
2026 වසරේ පළමු කාර්තුව සඳහාද විදුලිබල මණ්ඩලය ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කර තිබුණත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව එය ප්‍රතික්ෂේප කළා.
නිසි කාලය තුළ විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් නොකිරීම ඊට හේතුවයි.
ඉදිරි මාස තුන සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය ගිගා වොට් පැය 4,578ක් නිපදවීමට අපේක්ෂිතයි.
ගිගා වොට් පැය 1,218ක් ජල විදුලියෙන් උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන අතර, තාප බලාගාරවලින් ගිගා වොට් පැය1,957ක් නිපදවීමට අපේක්ෂා කෙරෙනවා.
එමෙන් ම පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවීමට බලාපොරොත්තු වන ගිගා වොට් පැය ප්‍රමාණය 1,402ක්.
මෙලෙස නිපදවන විදුලියෙන් ගිගා වොට් පැය 4,230.3ක් අලෙවි කිරීම ලංකා විදුලිබල මණ්ඩලයේ අපේක්ෂාවයි.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවට අනුව, 2026 දෙවන කාර්තුව සඳහා අපේක්ෂිත වියදම රු. මිලියන 136,531ක්.
මෙයට විදුලි උත්පාදනයේ සිට බෙදාහැරීම දක්වා එන වියදම් ඇතුළත් අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අදාලව ඉවත්වන සේවකයන් සඳහා ගෙවන වන්දි මුදල්, දැනට සේවය කරන සේවකයන්ගේ ගෙවීම් සඳහා වන මූල්‍යමය වියදම් ද ඇතුළත්.
2026 දෙවන කාර්තුව සඳහා රු. මිලියන 3,795ක ඉදිරියට ගෙන යන අතිරික්තයක් ද පවතින අතර, ඉදිරි මාස තුන සඳහා අපේක්ෂිත ආදායම රු. මිලියන 116,889ක්.
ආදායම් සහ වියදම් අතර හිඟය රු. මිලියන 15,847ක් ලෙස පුරෝකථනය කර ඇති අතර එම හිඟය පියවා ගැනීම සඳහා 13.56%ක ගාස්තු වැඩිවීමක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අපේක්ෂා කරනවා.
ඒ අනුව ගෘහස්ත කාණ්ඩයේ මාසිකව ඒකක 0 සිට 30 දක්වා කාණ්ඩය සඳහා ඒකකයට අය කෙරුණු රුපියල් 4.50ක මුදල රුපියල් 5.11ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුවද රුපියල් 80 සිට 90.85 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි.
ඒකක 31 සිට 60 දක්වා මීට පෙර පැවති මිල ඒකකයට රුපියල් 8.00 ක්.
නව යෝජනාව මගින් ඒ සඳහා රුපියල් 9.08 ක් ලෙස ගාස්තු වැඩිවිමක් සහ ස්ථාවර ගාස්තුවද රුපියල් 210 සිට 238.48 ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
එමෙන්ම 0 සිට 60 දක්වා වන කාණ්ඩය සඳහා රුපියල් 12.75 ක්ව පැවති ගාස්තුව රුපියල් 14.48 ක් දක්වා වැඩි කිරිමට යෝජිත අතර , රුපියල් 18.50ක් ව පැවති ඒකක 61 සිට 90 දක්වා විදුලිය ගාස්තුව , නව සංශෝධනය හරහා රුපියල් 21.01 දක්වා ඉහළ දැමීමට යෝජිතයි.
එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට රුපියල් 454.24 ක් දක්වා ඉහළ නංවන ලෙස විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටිනවා.
ඒකක 91 සිට 120 දක්වා ඒකකයට අය කෙරුණු රුපියල් 24.00 ක ගාස්තුව වෙනුවට යෝජනා කර ඇත්තේ රුපියල් 27.25ක්.
රුපියල් 1000ක් ලෙස පැවති එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1703.401 ක් දක්වා ඉහළ නැංවිමට යොජනා කර තිබෙනවා.
මෙතෙක් ගෘහස්ත කාණ්ඩයේ ඒකක 121 සිට 180 දක්වා ඒකකයට රුපියල් 41ක් අය කෙරුණු අතර නව මිල ගණන් අනුව එය රුපියල් 46.56 දක්වා වැඩි කිරිමට යෝජිතයි.
එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල්1500 සිට රුපියල් 1703.40 ක් දක්වා ඉහළ නැංවිය යුතු බව විදුලි බල මණ්ඩලයේ යෝජනාව වී තිබෙනවා.
ඒකක 181 ට වැඩි විදුලිය පරිභෝගිකයින් සඳහා ඒකකයකට රුපියල් 61ක් අය කළ අතර විදුලි බල මණ්ඩලය යෝජනා කරන්නේ එම ගාස්තුව රුපියල් 69.27ක් දක්වා ඉහළ දැමීමටයි.
එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 2100 සිට රුපියල් 2384.76 ක් දක්වා ඉහළ දැමිමට යෝජනා කර තිබෙනවා.
මීට අමතරව කර්මාන්ත හෝටල් සහ ආයතන සඳහාඳ විදුලි ගාස්තු වැඩි වීමක් ද විදුලි බල මණ්ඩලයේ යෝජනාවලියට ඇතුළත්.
ඒකක 300 ට අඩු කාණ්ඩය සඳහා රුපියල් 8ක්ව පැති ගාස්තුව රුපියල් 9.8 ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කරන විදුලි බල මණ්ඩලය එමෙන්ම 300ට වැඩි කාණ්ඩය සඳහා ඒකකයක් රුපියල් 17 සිට රුපියල් 19.31ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
මණ්ඩලය යෝජනා කරන්නේ එම කාණ්ඩවල ස්ථාවර ගාස්තු ද වැඩි කළ යුතු බවයි.
මිට අමතරව ආගමික සිද්ධස්ථාන සහ පුණ්‍ය ආයතන මෙන්ම වීදි ලාම්පු සඳහාද විදුලි ගාස්තු වැඩි කිරීමට මෙවර ගාස්තු සංශෝධනයේ දී ලංකා විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරනවා.





