සති හතරකට ආසන්න කාලයක් පවතින සටන් අවසන් කිරීම සඳහා ගිවිසුමක් ඇති කර ගැනීමට ඉරානයට දැඩිව අවශ්‍ය වී ඇතැයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
කෙසේ වෙතත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සඳහන් කරන්නේ තම රට එක්සත් ජනපද යෝජනාවක් සමාලෝචනය කරමින් සිටින නමුත් ගැටුම අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට කිසිදු අදහසක් නොමැති බවයි.
මේ අතර බන්ඩර් අබ්බාස් වෙත එල්ල වූ ප්‍රහාරයකින් ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාපති අලිරේසා තංසීරි මියගොස් ඇතැයි වාර්තා වෙනවා.
ගැටුම අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය විසින් පාකිස්තානය හරහා කරුණු 15 කින් යුත් යෝජනාවක් ඉරානයට යවනු ලැබුවා.
ඉරානයේ සුපෝෂණය කළ යුරේනියම් තොග ඉවත් කිරීම, යළි සුපෝෂණය නැවැත්වීම, එහි බැලස්ටික් මිසයිල වැඩසටහන අතහැර දැමීම සහ කලාපීය සටන්කාමී සංවිධාන සඳහා අරමුදල් කපා හැරීම වැනි යෝජනා ඊට අන්තර්ගත බව සඳහන් වුණා.
ධවල මන්දිරය තම යෝජනාවේ කරුණු හෙළි කිරීම ප්‍රතික්ෂේප කළ අතර සාකච්ඡා ප්‍රතික්ෂේප කරන්නේ නම් දැඩි ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවනු ඇති බවට තර්ජනය කළා.
වර්තමාන මොහොතේ පවතින යථාර්ථය පිළිගැනීමට ඉරානය අපොහොසත් වන්නේ නම්, එනම් තමන් හමුදාමය වශයෙන් පරාජයට පත්ව ඇති බවත්, එය දිගින් දිගටම සිදුවන බවත්, ඔවුන් තේරුම් නොගන්නේ නම්, මීට පෙර කිසිදා නොවූ විරූ ප්‍රබල ප්‍රහාරයකට ඔවුන් ලක්වන බව ජනාධිපති ට්‍රම්ප් සහතික කරනු ඇත.
කෙසේ වෙතත් ඉරාන රජයේ රූපවාහිනී සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි පැවසුවේ මීට පෙර කොන්දේසි විරහිතව යටත් වන ලෙස ඉල්ලා සිටි ඇමරිකා එක්සත් ජනපදය දැන් සාම සාකච්ඡා සඳහා ඇරයුම් කිරීම ඔවුන් ලැබූ පරාජයක් බවයි.
“අපගේ මිත්‍ර රටවල් හරහා පණිවිඩ සම්ප්‍රේෂණය කිරීම සහ අපගේ ස්ථාවරයන් ප්‍රකාශ කිරීමෙන් හෝ අවශ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් අප ප්‍රතිචාර දැක්වීම සාකච්ඡා හෝ සංවාදය ලෙස හැඳින්වෙන්නේ නැහැ. එය හුදෙක් අපගේ මිතුරන් හරහා පණිවිඩ හුවමාරුවක් පමණි.”
එවන් පසුබිමක බදාදා වොෂින්ටනයේ පැවති උත්සවයකදී ට්‍රම්ප් යළි සඳහන් කළේ ඉරාන නායකයින් සමග සාකච්ඡා පැවැත්වෙන බවයි.
ඉරාන නායකයින් “සාකච්ඡා කරමින් සිටින අතර, ඔවුන්ට ගිවිසුමක් ඇති කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක සිටිනවා. නමුත් ඔවුන් තමන්ගේම ජනතාව විසින් මරා දමනු ඇති නිසා ඔවුන් එය පැවසීමට බිය වී සිටිනවා. ඒ වගේම අප විසින් ඔවුන් මරා දමනු ඇතැයි ද ඔවුන් බියෙන් පසුවෙනවා.”
මේ අතර ඇමෙරිකාවේ කොන්දේසි ප්‍රතික්ෂේප කරන ඉරානය යුද්ධය අවසන් කිරීම සඳහා කොන්දේසි පහක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ පිළිබඳ දැනුම් දෙමින් ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ආරක්ෂක නිලධාරියෙකු එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේ, යුද්ධය අවසන් වන ආකාරය සහ ඒ සඳහා වන කාලරාමුව තීරණය කරනු ලබන්නේ ඉරානයේ අභිමතය පරිදි මිස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියමයන් මත නොවන බවයි.
පළමු කොන්දේසිය වන්නේ සතුරා විසින් සිදු කරනු ලබන “ආක්‍රමණ සහ ඉලක්කගත ඝාතන” සම්පූර්ණයෙන්ම නතර කිරීමයි.
ඉරානයට එරෙහිව නැවත යුද්ධයක් ඇති නොකරන බව සහතික කිරීම සඳහා නිශ්චිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම
යුද්ධයෙන් සිදු වූ හානි සඳහා සහතික කරන ලද සහ පැහැදිලිව නිර්වචනය කරන ලද වන්දි ගෙවීම
කලාපය පුරා යුද්ධයට සම්බන්ධ වී සිටින සියලුම ප්‍රතිවාදී කණ්ඩායම් සහ ඊට සහාය දක්වන්නන් යුද්ධය අවසන් කිරීම
හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ඉරානයට ඇති ස්වෛරී අයිතිය පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීම සහ සහතිකය ලබා දීම
ඉරානය ඉදිරිපත් කර ඇති සෙසු කොන්දේසි වනවා.
සාකච්ඡා පිළිබද පලවන පරස්පර අදහස් මධ්‍යයේ බ්‍රහස්පතින්දා අලුයම, ඉරානය පුරා ප්‍රදේශ කිහිපයක යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මහා පරිමාණයේ ප්‍රහාර රැල්ලක් දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පැවසුවා.
එම ප්‍රහාරය එල්ල කර තිබුණේ බදාදා ඉරානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්.
මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරන වාණිජ නෞකාවලට ඉරානයෙන් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සිය ප්‍රබලතම AH-64 ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ඉරාන වෙරළ තීරය ආශ්‍රිතව මෙහෙයුම් සඳහා යොදවා තිබෙනවා.
‘ඔපරේෂන් එපික් ෆියුරි’ මෙහෙයුමේ නවතම පියවරක් ලෙස, ඉරානයේ වේගවත් ප්‍රහාරක යාත්‍රා ,ඩ්‍රෝන යානා සහ බෝම්බ ඇතිරීමේ නෞකා ඉලක්ක කර ගනිමින් මෙම යානා දැනටමත් ප්‍රහාර ආරම්භ කර ඇතැයි සඳහන්.
මීට අමතරව A-10 වොර්තොග් ප්‍රහාරක ගුවන් යානා ද මෙම මෙහෙයුමට එක් කර ඇති අතර පෙන්ටගනය තහවුරු කළේ මේ වන විට ඉරාන නාවික යාත්‍රා 120 කට අධික සංඛ්‍යාවක් විනාශ කර ඇති බවයි.
මේ අතර ඉරානයේ බන්ඩර් අබ්බාස් හිදී එල්ල වූ ප්‍රහාරයකින් ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාපති අලිරේසා තංසීරි මියගොස් ඇති බව වාර්තා වෙනවා.
ගෝලීය බලශක්ති සැපයුමට තීරණාත්මක වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධයෙන් වගකීම දැරුවේ අලිරේසා තංසීරි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය ඊශ්‍රායලය හෝ අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලද්දක්ද යන්න තවමත් පැහැදිලි අදහස් දැක්වීමක් සිදු කර නැහැ.මේ අතර දකුණු ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා ඉලක්ක 350 කට වැඩි ප්‍රමාණයක් විනාශ කළ බව ඊශ්‍රායලය නිවේදනය කරනවා.
මේ අතර ගෝලානි බළකාය, දකුණු ලෙබනනයේ හිස්බුල්ලා අණදෙන මධ්‍යස්ථානයක් සහ අවි ගබඩාවක් විනාශ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් නිකුත් කර තිබුණා.
ඉරානය විසින් අද උදෑසන මධ්‍යම ඊශ්‍රායලයේ කෆ්ර් කාසිම් වෙත පොකුරු බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදයට අයත් F-18 වර්ගයේ ප්‍රහාරක යානයකට තමන් සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කරනවා..
ඉරානයේ ‘Press TV’ නාලිකාව මෙම ප්‍රහාරයට අදාළ බව කියන වීඩියෝ දර්ශන පවා විකාශය කළා.
එම වීඩියෝ දර්ශන මෙතෙක් ස්වාධීනව සත්‍යාපනය කර නැහැ.
කෙසේ වෙතත් ඇමෙරිකානු මධ්‍යම අණදෙන විධානය මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන්නේ ඊට අදාළ දර්ශන ද ව්‍යාජ බව පවසමින්.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඇමරිකානු නාවික හමුදා නෞකාවකට පහර දෙන අයුරු දැක්වෙන දර්ශන පෙළක් ඉරාන රජයට හිතවාදී සමාජ මාධ්‍ය ඔස්‌සේ සංසරණය වුණා.
මේ අතර අබුඩාබියේ වීදියකට බැලස්ටික් මිසයිලයක සුන්බුන් වැටීමෙන් දෙදෙනෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඉන් වාහන කිහිපයකට ද හානි සිදුවුණා.
මේ අතර පසුගිය දින කිහිපය තුළ ඊශ්‍රායලයේ ටෙල් අවිව් අගනුවර අහසේ අසාමාන්‍ය ලෙස කපුටන් දහස් ගණනින් නගරයෙන් ඉවතට පියාසර කරන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.
මෙම හදිසි සත්ත්ව සංක්‍රමණය සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්ව ඇති අතර, බොහෝ දෙනෙකු මෙය කිසියම් අනතුරක පූර්ව ලක්ෂණයක් විය හැකි බවට සැක පළ කරනවා.
මේ අතර අමෙරිකා – ඉරාන යුද්ධය හේතුවෙන් අවහිර වී ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සිය අරමුණ බවට අමෙරිකාව කළ ප්‍රකාශය පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් දැඩි උපහාසයට ලක් කර තිබෙනවා.
ඔහු ‘X’ ගිණුමේ සටහනක් තබමින් සදහන් කරන්නේ යුද්ධයේ අරමුණ දැන් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම දක්වා වෙනස් වී ඇති බව පෙනේ, නමුත් සැබවින්ම එය යුද්ධයට පෙරත් විවෘතව පැවති බවයි.
ඉරානය සමඟ පවතින සන්නද්ධ ගැටුම විස්තර කිරීම සඳහා “යුද්ධය” යන වචනය භාවිතා කිරීම තමන් හිතාමතාම මඟහරින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
වොෂින්ටන් නුවර පැවැති රිපබ්ලිකන් පක්ෂයේ වාර්ෂික අරමුදල් රැස් කිරීමේ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වෙමින් ඔහු මෙම ආන්දෝලනාත්මක අදහස් පළ කළා.
ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව යුද්ධයක් ප්‍රකාශ කිරීමේ බලය ඇත්තේ කොංග්‍රස් මණ්ඩලයට පමණක් වන අතර, ජනාධිපතිවරයාට ඒ සඳහා පූර්ව අනුමැතිය අවශ්‍ය වෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමන් එම වචනය භාවිතා නොකරන්නේ ඒ සඳහා අවශ්‍ය “අනුමැතිය තමන් සතුව නොමැති බැවින් බවයි.
ඒ වෙනුවට ඔහු මෙය හඳුන්වන්නේ “හමුදාමය මෙහෙයුමක් හෝ හමුදාමය විනාශ කිරීමක් ලෙසයි.
යුක්රේන යුද්ධයේදී රුසියාව භාවිතා කළ නවීන ඩ්‍රෝන තාක්ෂණික උපක්‍රම, ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් දැන් ඇමරිකානු හමුදාවන්ට එරෙහිව භාවිතා කරමින් සිටින බව ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත වාර්තා කරනවා.
එම පුවත්පත වාර්තාවල සදහන් වන්නේ පසුගිය සතියේ බැග්ඩෑඩ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට සහ හමුදා කඳවුරුවලට එල්ල වූ ප්‍රහාරවල දර්ශන මගින් පෙනී යන්නේ, ඉරානය විසින් ඉතා දියුණු ඩ්‍රෝන තාක්ෂණයක් අත්හදා බලමින් සිටින බවයි.
මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ “ෆයිබර් ඔප්ටික් රැහැන් මගින් පාලනය වන ඩ්‍රෝන භාවිතා කිරීමයි.
මෙම තාක්ෂණය නිසා ඇමරිකානු හමුදාවන් සතු ඩ්‍රෝන මර්දන සංඥා අවහිර කිරීමේ පද්ධති සම්පූර්ණයෙන්ම අක්‍රිය වන අතර, එම ඩ්‍රෝන ඉලක්කය වෙත සාර්ථකව මෙහෙයවීමට ඉරාන හිතවාදීන්ට හැකියාව තිබෙන බවද එම වරේතාවේ දැක්වෙනවා.
මීට අමතරව මෙහෙයවන්නාට සෘජුවම දර්ශන පෙනෙන ඩ්‍රෝන මගින් ඇමරිකානු කඳවුරුවලට නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් සමත්ව ඇති බවද ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත වාර්තා සදහන් කරනවා.
මෙම සියලු වර්ධනයන් මධ්‍යයේ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු ඇඟවූයේ ගැටුම පාලයෙන් තොරවී ඇති බවයි.
ලෝකය මහා පරිමාණ යුද්ධයකට අවතීර්ණ වෙමින් ඇතැයි නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් මහලේකම්වරයා සඳහන් කළා.
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පැවැති ජාතික රිපබ්ලිකන් කොංග්‍රස් කමිටු අරමුදල් රැස්කිරීමේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා.
එහිදී ඔහු කියා සිටියේ ඉරානයේ ‘උත්තරීතර නායක’ ධුරය භාරගන්නා ලෙස තමන්ට නිල නොවන මට්ටමින් ආරාධනයක් ලැබුණු නමුත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවයි.
“ඉරානයේ රාජ්‍ය නායකයා වීමට අකමැති වෙනත් කිසිදු රටක නායකයෙකු ලොව නැති තරම්. ඔවුන්ගේ පාර්ශවයෙන් අපට ඉතා පැහැදිලිව පණිවිඩ ලැබෙනවා. ‘අපට මෙය අවශ්‍ය නැහැ, ඔබව අපේ මීළඟ උත්තරීතර නායකයා ලෙස පත් කරගැනීමට කැමතියි’ යනුවෙන් ඔවුන් පවසනවා.
නමුත් මම ඔවුන්ට පැවසුවේ ‘එපා ස්තූතියි, මට එය අවශ්‍ය නැති බවයි.”
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ඉරාන බලධාරීන් විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉරානයේ කිසිදු පාර්ශවයක් ඇමරිකානු නියෝජිතයන් සමඟ කිසිදු ආකාරයක සාකච්ඡාවක නිරත නොවන බව ටෙහෙරානය අවධාරණය කරනවා.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයන් “අතිශයෝක්තියෙන් යුත් සහ අතාර්කික” ප්‍රකාශ ලෙස ඉරානය හඳුන්වා දී තිබෙනවා.
ඉරානය සමඟ රහසිගතව ගනුදෙනු සිදුවන බවටත්, ඔවුන් යම් එකඟතාවකට පැමිණීමට උත්සාහ කරන බවටත් ට්‍රම්ප් පසුගිය දින කිහිපය පුරා දිගින් දිගටම චෝදනා කළද, ඉරානය පවසන්නේ ඇමරිකාව සමඟ කිසිදු සාකච්ඡාවකට තමන් සූදානම් නොමැති බවයි.
මේ අතර අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ඉරානය දැනට පවතින යුදමය වාතාවරණය හමුවේ ඇමරිකාව සමඟ වෙළඳ සහ සාම ගිවිසුමකට එළඹීම සඳහා “ඇවිටිලි කරමින්” සිටින බවයි.
ඉරානය යුදමය වශයෙන් දැඩි පසුබෑමකට ලක්ව ඇති බවත්, ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන සාම යෝජනා සමාලෝචනය කිරීමේ කතාව අසත්‍ය බවත් එම ප්‍රකාශයේ සදහන්.
“වැඩි කල් නොගොස් ඔවුන් බැරෑරුම් විය යුතුයි, නැතහොත් ආපසු හැරවිය නොහැකි දරුණු ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවනු ඇත” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් අනතුරු ඇඟවනවා..




