නීතිය නැමූ පොලිස් පාටිය

කන්කසන්තුරේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලදැයි කියන පහර දීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අප කළ විමසීමකදී මානව හිමිකම් කොමිසමේ යාපනය ප්‍රාදේශීය සම්බන්ධීකාරක ටී කනගරාජ පැවසුවේ බීමත් පොලිස් නිලධාරින් පිරිසක් විසින් කළ බවට සැලකෙන පහර දීමක් හේතුවෙන් තුවාල ලැබූ දෙදෙනෙකුගේ පැමිණිල්ලක් සිය කාර්‍යාලයට ලැබී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පසුගිය 24 වැනිදා මෙම සිදුවීම වාර්තා වන්නේ නැගෙනහිර වඩමාරච්චි හි මනල්කාඩු ප්‍රදේශයෙන්.
කන්කසන්තුරේ කොට්ඨාශ අපරාධ වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් නිල වාහනයකින් විනෝද චාරිකාවක නිරතව ඇති අතර ඔවුන් නැගෙනහිර වඩමාරච්චිහි මනල්කාඩු ප්‍රදේශයේ ස්ථානයක ආහාර පිස මත්පැන් පානය කර තිබෙනවා.

මේ අවස්තාවේ දී එම නිලධාරීන් සහ පේදුරුතුඩුව ප්‍රදේශයේ සිට මනල්කාඩු දක්වා ගමන් කළ පිරිසක් අතර බහින් බස්වීම සිදු වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම බහින්බස්වීම දුරදිග ගොස් එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙහි දී බීමත් පොලිස් නිලධාරීන් විසින් සිදුකළ පහර දීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු පේදුරුතුඩුව මූලික රෝහලට ඇතුළත් කර පසුව ඔවුන් යාපනය ශික්ෂණ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සදහා යොමුකර තිබෙනවා.
ඔවුන් මේ වනවිට යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ
මෙම ගැටුමේදී පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති අතර ඔහු පේදුරුතුඩුව රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් තුවාල ලැබූවන් මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.
අදාළ ගැටුම සිදුවන අවස්ථාවේදී කන්කසන්තුරේ කොට්ඨාශ අපරාධ වැළැක්වීමේ ඒකකයේ නිලධාරින් පිරිස අධික ලෙස බීමත්ව සහ අර්ධ වශයෙන් ඇඳුම් ගලවා අශෝභන ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ටීවී සුප්‍රීම් නිව්ස් අපි පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් සහ වඩමාරච්චි පොලිස් කොට්ඨාසයෙන්ද විමසීමක් සිදු කල ද ඔවුන් ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ යාපනය කාර්‍යාලය පරීක්ෂණයක් ආරම්භ කර අතර මේ වන විට සිද්ධියෙන් තුවාල ලැබූවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි මානව කොමිසමේ යාපනය ප්‍රාදේශීය සම්බන්ධීකාරක ටී. කනගරාජ් පැවසුවේ.‍

Share