සී අයි ඩී භාරයේ සිටි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට හදිසි රෝගී තත්ත්වයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ, හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔහුගේ අසනීප තත්වය විමසා බැලීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට හෝ ඔහුගේ නීතිඥයින්ට මෙතෙක් අනුමැතිය ලැබී නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා අප කළ විමසීමක දී පැවසුවා.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය පෙබරවාරි 25 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනවලට අදාළවයි.
හිටපු බුද්ධි ප්‍රධානියා සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තා.
හිටපු බුද්ධි ප්‍රධානියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව කෲර ලෙස සලකන බවටත්, ඔහු හමුවීමට ඔහුගේ නීතිඥයින්ට පවා ප්‍රමාණවත් අවසරයක් ලබා නොදෙන බවටත් ඇතැම් පාර්ශ්ව පසුගිය දිනවල චෝදනා කළා.

ඔහු අත්අඩංගුවට ගැනීමට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීමද සිදු කෙරෙමින් තිබෙනවා.
එවන් පසුබිමක අද ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ රෝහල්ගත කෙරුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දී තිබෙනවා.
සුරේෂ් සලේ මහතා රෝහල්ගත කෙරුණ ද ඔහුගේ සුවදුක් බැලීමට ඔහුගේ පවුලේ ඥාතීන්ට මෙතෙක් අවසර ලැබී නැතැයි නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කළා.

Share