උද්ධමනය ඉහල යයි ද?

මෙරට උද්ධමනය දෙවැනි කාර්තුව තුළ සියයට 5 මට්ටමට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
මහ බැංකුව මීට පෙර පුරෝකථනය කර තිබුණේ වසරේ තෙවැනි කාර්තුවේ දී එම මට්ටමට පැමිණෙනු ඇති බවටයි.
2026 වසරේ දෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින 7.75% මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට ඊයේ පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් පැන නඟින අවිනිශ්චිතතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, වෙනස්වන දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹුණු බව මහබැංකුව නිවේදනය කළා.
භූ දේශපාලනික අර්බුද තීව්‍ර වීමත් සමඟ උද්ගත වූ දැඩි අස්ථාවරත්වය මධ්‍යයේ ගෝලීය බලශක්ති මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑම සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලට ඇති වූ අවහිරතා හේතුවෙන් දේශීය බලශක්ති මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට සිදුවුණා.
උද්ධමනය ඉලක්කගත මට්ටම වන 5%ට සාපේක්ෂව, පෙබරවාරි මාසයේ දී 1.6%ක් ලෙස දැනට පහළ මට්ටමක පවතින බැවින්, බලශක්ති මිල ගණන් ඉහළ යෑම සහ එමගින් උද්ධමනය කෙරෙහි එල්ල කරන වක්‍ර බලපෑම් සඳහා මුහුණ දීමට ප්‍රමාණවත් අවකාශයක් පවතින බව මහබැංකුවේ ස්ථාවරයයි.

මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය නැව් ගමනාගමනයට එල්ල වී ඇති බාධා හමුවේ, ශ්‍රී ලංකාව ලොව සුපිරි මෝටර් රථ ගබඩා කර තබන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බව රොයිටර්ස් වාර්තා කරනවා.
ඩුබායි රාජ්‍යයේ ගැනුම්කරුවන් වෙත රැගෙන යාමට නියමිතව තිබූ ලැම්බෝගිනි (Lamborghini), රෝල්ස් රොයිස් (Rolls-Royces) සහ ෆෙරාරි (Ferrari) වැනි සුපිරි පන්තියේ මෝටර් රථ 50ක් පමණ මේ වන විට ශ්‍රී ලංකාවේ සහ චීනයේ වරායන්හි ගොඩබෑමට නැව් සමාගම් පියවර ගෙන ඇතැයි අදාළ වාර්තාවේ සඳහන්.
ඩුබායි වෙත යාමට නොහැකි වූ වාහන රැගත් නැව් ශ්‍රී ලංකාව දෙසට හැරවීම නිසා පසුගිය දිනවල හම්බන්තොට වරායේ දැඩි තදබදයක් ඇති වුණා.
මීට අමතරව සාමාන්‍ය වර්ගයේ පාවිච්චි කළ ජපන් වාහන 500කට අධික ප්‍රමාණයක් හම්බන්තොටට ගොඩ බා ඇත්තේ දින 10කට වඩා වැඩි කාලයක් මුහුදේ රැඳී සිටීමෙන් පසුව බවද රොයිටර්ස් වාර්තාවේ දැක්වෙනවා.
පවතින යුද තත්ත්වය සමනය වන තෙක් හෝ විකල්ප මාර්ගයක් විවෘත වන තෙක් ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු වරායන් “රැඳවුම් මධ්‍යස්ථාන” ලෙස භාවිත කිරීමට ජාත්‍යන්තර වෙළඳුන් තීරණය කර තිබෙනවා.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රයට අලුත් අභියෝගයක් මෙන්ම අවස්ථාවක් ද උදා කර ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.
මැදපෙරදිග අර්බුදය දිග්ගැස්සුණහොත් ඉදිරි කාලයේදී තවත් භාණ්ඩ රැසක් මෙලෙස ශ්‍රී ලංකාව හරහා ප්‍රතිඅපනයනය කිරීමට හෝ ගබඩා කිරීමට ඉඩ තිබෙනවා.

Share